Wed. Jul 3rd, 2024
Spread the News
Picture Courtesy of New York times

මිය යන්නට කලින් බුද්ධ ප්‍රබෝධ විසින් ලියන්නට ඇතැයි සැක කරන ලිපියක් සම්බන්ධයෙන් මා විසින් තැබූ සටහනකට වෙඩි කෑ ඌරන් මෙන් සමාජ මාධ්‍ය ජාලයක් ඔස්සේ මා හට ප්‍රහාර පිට ප්‍රහාර එල්ල කළ පිරිසගේ වචන වල තිබුනු කර්කශ බව මෙන්ම ශෛලියෙන් ම පැහැදිලි වුණු එක් කරුණක් නම් ගාලුමුවදොර අරගලයේ නිර්මාතෘවරුන් ලෙස පෙනී සිටිමින් සම්පූර්ණ නැගී සිටීමම විනාශ කළ එක්තරා ආගමික කණ්ඩායමක ප්‍රධානියාත්, රටේ දේශපාලන ප්‍රධානියාත් ආරක්ෂා කිරීමට කොන්ත්‍රාත් ගත් පිරිසක් මේ පිළිකුල් සහගත ක්‍රියාව කරන බවයි.

පසුගිය වකවානුවේදී මා විසින් කාදිනල් ගේ දේශපාලන භූමිකාව පිළිබඳව අදහස් පළ කළ විට සමහර පුද්ගලයින් කිපී මා හට පහර ගැසීම සඳහා අසැබි වචන පවා පාවිච්චි කර තිබුණා.

කාලාන්තරයක් තිස්සේ ඔවුන් මා නිහඬ කරන්න නොගත් උත්සාහයක් නැහැ. ඔවුන් එය දැනටමත් කරමින් සිටින බව අද දින මා වෙත එල්ල කර තිබුණු ප්‍රහාරයෙන් නැවත වරක් සනාථ වුණා.

ඒ අතරවාරයේ Fact Crescendo නමින් හැඳින්වෙන සංවිධානයක් අපරාධයේ සුලමුළ සොයා ගැනීමට නොහැකි වන සේ සුදුහුණු ගෑමේ උත්සාහයක්ද දරා තිබෙන බව පෙනී යනවා.

ඔවුන්ගේ වාර්තාවෙන් උපුටා ගනිමින් මා විසින් පහත සඳහන් කරන වාක්‍ය ඛණ්ඩ ඔබ සැමගේ කාරුණික අවධානයට යොමු කරනු කැමැත්තෙමි.

“බුද්ධි ප්‍රබෝධ විසින් සිය අවසන් කැමැත්ත ලියූ බවට පළවූ ලිපිය ව්‍යාජ බවට පොලිසියට තහවුරු කරයි”.
එවැනි තහවුරු කිරීමක් සඳහා අඩු වශයෙන් මියගිය තැනැත්තාගේ අත්අකුරු හා සසඳා බැලීමක්වත් පොලිසිය විසින් කරනු ලැබුවේ ද?

එවැනි පරීක්ෂණයක් කිරීමේ දී මූලික වශයෙන්ම කටඋත්තර ගත යුත්තේ දෙමව්පියන් ඇතුළු පවුලේ සාමාජිකයින්ගෙන්.
නමුත් මේ ලිපිය ව්‍යාජ ලිපියක් බව අදහස් ප්‍රකාශ කරන්නේ ඥාතීන් හා සමීපතම මිත්‍රයින්.

එම වාර්තාව තවදුරටත් පවසන අන්දමට ” අවසන් කැමැත්තක් පිළිබඳ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුමාරු වන ආකාරයේ ලිඛිත ලිපියක් අනාවරණය නොවුණු බව පොලීසිය තහවුරු කරයි”.

මුල්ලේරියාව පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ජී.එස්. සුසන්ත Fact Crescendo සාමාජිකයන්ට පවසා ඇති පරිදි, ඉහත සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන පරිදි ලියා ඇති බවට විමර්ශනය නොවුනු බවයි.

එයින් ගම්‍ය වන්නේ අබිරහස හෙළිවේ යැයි කාට හෝ ඇති බියක් නිසා විමර්ශනය නොකෙරුණු බවක් ද?
වර්තමානයේ බොහෝ දෙනකුගේ කතාබහට ලක්වුණු චරිත දෙකක් පිළිබඳව බුද්ධි ප්‍රබෝධ විසින් ලියා ඇතැයි සැක කරන ලිපියේ සඳහන්වීමත්, මේ ලිපිය ලියා ඇත්තේ බුද්ධි ප්‍රබෝධ නො වන බවත්, බුද්ධි ප්‍රබෝධ දිවි නසා නසාගෙන ඇත්තේ අරගලය හා සම්බන්ධ කාරණා මත නොව ඔහුට තිබූ මානසික රෝගයක් නිසා යන කතාව සමාජගත කිරීමට කිසියම් පිරිසක් උත්සහ කරන බව ක්‍රමක්‍රමයෙන් පැහැදිලි වෙමින් පවතී.

රෝහණ විජේවීර මොස්කව්හි ලුමුම්බා විශ්ව විද්‍යාලයේ ඉගෙන ගනිමින් සිටිය දී, සෝවියට් දේශය විවේචනය කරමින් ලිපි ලීවා කියා ඔහුව සෝවියට් දේශයෙන් පිටුවහල් කරන්නේ ඔහු මානසික රෝගියෙක් බවට හංවඩු ගසමින්.

කිසිම දෙයකට භිය නොවන එඩිතර පුද්ගලයෙක් ඉතිහාසයේ කොයියම් මොහොතක සත්‍ය ප්‍රකාශ කර සිටියේද, ඔහුට හෝ ඇයට හිමිවූයේ මරණයයි.

1415 දී දකුණු ජර්මනියේ Constance නගරයේ දී පණපිටින් පුළුස්සා මරා දැමූ ප්‍රාග් විශ්වවිද්‍යාලයේ කතෝලික දේවධර්ම මහාචාර්ය Jan Hus බිෂොප්වරයා ට ඒ ඛේදජනක ඉරණම අත්වූයේ එතුමා අවංකවම යේසුස්වහන්සේට ආදරය කළ නිසයි.

අපරාධයක් කරන ඕනෑම කෙනෙකුට පල්ලියට දෙන අල්ලසක් තුළින් දෙවියන්ගෙන් සමාව ලැබෙන බව වතිකානුව විසින් නිකුත් කළ නිළ නිවේදනයකට එරෙහිව ” දෙවියන් වහන්සේ යනු අල්ලස් ගන්නා කෙනෙක් නොවන බව” විශ්ව විද්‍යාලයේ තම දේශනවලදී මෙන්ම එතුමා විසින් ලියන ලද ග්‍රන්ථ වලත් සත්‍ය කුමක්දැයි පහදා දීමට ගත් උත්සාහය කෙළවර වූයේ කෲර මරණයකින්. එය වතිකානුව විසින් Jan Hus Bishop තුමාට දුන් දඬුවමකටත් වඩා සත්‍ය නොකියන ලෙස අනාගත පරම්පරා වලටත් දුන් අනතුරු හැඟවීමක් බව ලොව පුරා සිටින ජේසු තුමන්ට අවංකවම ආදරය කරන පිරිස් එකහෙළාම පිළිගනිති.

තත්වය එසේනම්, පාස්කු ප්‍රහාරයේ සිට ගාලුමුවදොර අරගලය දක්වා දිවෙන කතාන්දරය පිටුපස හොල්මං කළ මහ මොළකරුවන් පිළිබඳ සත්‍යය කිසිදා එළියට නොඑනු ඇත.

මේ ලියන මා ඉතිහාසයේ තවත් Jan Hus කෙනෙකු වීමට උත්සහ නොකළත්, ඝාතකයින්ගේ ගොදුරක් වීම සමහර විට නොවැළැක්විය හැකි වනු ඇත.

සත්‍ය ගරුක පුද්ගලයින් මරා දැමුවත්, සත්‍ය මරා දැමිය හැකි බලවතෙක් මේ දක්වා ම ලොව පහළ වී නැත. අනාගතයේදී පහළ වන්නේත් නැත.

(මහාචාර්ය එඩ්වර්ඩ් එම් පෙරේරා)

20.04.2023