Fri. Jul 5th, 2024
Spread the News

අමෙරිකාවේ FBI ආයතනය දුරකථන-අන්තර්ජාල කතා හොරෙන් අරන්

අමෙරිකාවේ ජනතාව කැළඹෙයි

 source:

එක්සත් ජනපද රජයේ ජාතික ආරක්ෂක ඒජන්සිය හා එෆ්.බී.අයි. ආයතනය මඟින් අමෙරිකානු පුරවැසියන්ගේ දුරකථන හා අන්තර්ජාල සාකච්ඡා පිළිබඳ වාර්තා හොර රහසේ රැස් කිරීමේ ක්‍රියාවලීන් දෙකක් පවත්වාගෙන යාම අනාවරණය වීමෙන් අමෙරිකානුවන් අතර මහත් කැළඹීමක් හටගෙන ඇතැයි පැවසේ.

අධි රහස්‍ය අධිකරණ නියෝගයක් යටතේ ලත් බලය අනුව අමෙරිකානු ජාතික ආරක්ෂක ඒජන්සිය මඟින් අමෙරිකාවේ විශාලතම දුරකතන සේවා සමාගමක් වන වෙරිසෝන් සමාගමෙන් සිය දුරකතන ග්‍රාහකයින්ගේ ඇමතුම් සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙස කළ ඉල්ලීමක් අනාවරණය වීමෙන් අමෙරිකානුවන් මෙසේ කැලඹීමට පත්ව තිබේ.

ඉකුත් බදාදා බ්‍රිතාන්‍යයේ ගාඩියන් පුවත්පත මඟින් මුලින්ම මෙම රහස්‍ය ක්‍රියාවලිය අනාවරණ්‍ය කිරීමෙන් පසු එය අමෙරිකානුවන්ගේ පෞද්ගලිකත්වයට අනිසි බලපෑමක් එල්ල කරන්නක් ලෙස සැලකී ඇත.

විදේශ බුද්ධි අංශ සේවා විමර්ශන අධිකරණය ලෙස හැඳින්වෙන රහස් අධිකරණයක් මඟින් නිකුත් කළ නියෝගයකට අනුව මෙසේ අමෙරිකානුවන්ගේ දුරකතන සංවාද වාර්තා ලබාගන්නා බව ගාඩියන් පුවත්පත හෙළිදරව් කළ අතර පසුව ඉකුත් බ්‍රහස්පතින්දා එම පුවත්පත හා වොෂින්ටන් පෝස්ට් පුවත්පතෙන් අමෙරිකානු ජාතික ආරක්ෂක ඒජන්සිය හා එෆ්.බී.අයි. ආයතනය එක්ව සිදු කරන තවත් එවැනි වැඩසටහනක් ගැන අනාවරණය කර ඇත. ඒ අනුව අමෙරිකාවේ සියලුම අන්තර්ජාල සමාගම්වල ශ්‍රව්‍ය දෘශ්‍ය තොරතුරු, ඊමේල්, ඡායාරූප හා වෙනත් ලේඛන ආදිය විමර්ශනයට ලක් කෙරෙන බව එම පුවත්පත් වාර්තා කර ඇත.

තවද ඉහත සඳහන් මුල් වැඩසටහන යටතේ ඇමතුම් දෙන්නා හා ලබන්නා යන දෙපාර්ශයටම සම්බන්ධ ඇමතුම් විස්තර, ස්ථාන හා ඇමතුමේ කාලසීමාව ආදී සියළු විස්තර ජුලි මස 19න් අවසන් වන තෙමසක කාලයකට අදාළව ලබා දිය යුතු බවට වෙරිසෝන් සමාගමට නියෝග කෙරී ඇත.

වෙනත් දුරකතන සේවා සමාගම්වලට ද එම නියෝගය ලබාදී ඇත්ද යන්න පැහැදිලි වී නැත. ජාතික ආරක්ෂක ඒජන්සියේ මේ ක්‍රියාවලිය අදාළ සමාගම විසින්ද රහසක් ලෙස තබාගෙන ඇති අතර මෙය මුළුමනින්ම අමෙරිකානුවන්ගේ පෞද්ගලිකත්වය හා මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කරන්නක් බව බොහෝ දෙනෙකු ප්‍රකාශ කර තිබේ.

මේ ව්‍යාපෘතිය දුරකතන වලට හොරෙන් සවන්දීමක් නොවන බවත් කිසිදු ඒජන්ත වරයකු සංවාදවලට සවන් නොදෙන බවත් පවසන එම ඒජන්සියේ ප්‍රධානී ජේම්ස් ක්ලැපර් සිදු කරන්නේ දත්ත එක්කොට විශ්ලේෂණය කිරීමක් පමණක් බව කියා තිබේ.

ක්ලැපර් පවසන්නේ වෙරිසෝන් නම් දුරකතන සේවා සමාගමට දුරකතන සංවාද වාර්තා සපයන ලෙසට නිකුත් කෙරුණු රහස් අධිකරණ නියෝගය පදනම් කරගනිමින් එම වැඩපිළිවෙළ ගාඩියන් පුවත්පතේ ලිපියක් මඟින් සාකච්ඡා කර තිබීම නොමඟ යවන සුළු ක්‍රියාවක් බවය.

අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමාද මේ ක්‍රියාදාමයන් සාධාරණීකරණය කරමින් ත්‍රස්ත ප්‍රහාරයන් පිළිබඳව එක්සත් ජනපද බලධාරීන්ට හෝඩුවාවන් සැපයෙන සැකකටයුතු ක්‍රියාදාමයන් අනාවරණය කරගැනීම මින් අදහස් කෙරෙන බව කියා තිබේ.

එහෙත් දේශීය වශයෙන් පමණක් නොව විදේශීය වශයෙන්ද මෙවන් ක්‍රියාදාමයක් පැවැත්වෙන බව සෙනේට් සභිකයන් දෙදෙනකු පවසා ඇතැයි ලන්ඩන් ටෙලිග්‍රාෆ් පුවත් සේවය ප්‍රකාශ කර තිබේ.

බුෂ් පරිපාලනය යටතේ ද සිදු වූ මේ රහස්‍ය ක්‍රියාවලිය වත්මන් ජනාධිපති බැරැක් ඔබාමා යටතේද සිදුවීම අමෙරිකානු පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය මුළුමනින්ම කෙලෙසන්නක් බව වි‍ශ්ලේෂකයන්ගේ මතය වී තිබේ. ‍‍