Fri. Jul 5th, 2024
Spread the News
Diana Gamage

ආරියතිලක
2023.02.09

අමාරු මොහොතේ රට අතහැර යන කිසියම් වෘත්තිකයෙකු වේ නම් ඔවුන් මේ රටට ආපසු නො පැමිණිය යුතු බව ඩයනා ගමගේ සංචාරක රාජ්‍ය අමාත්‍යවරිය ඉල්ලීමක් කළ බව මාධ්‍ය වාර්තා කර ඇත.

අනේ අනිච්චං! දෙව්දත් විසින් බුදුර දුන්ට ගල් පෙරළා බුදු වීමට උත්සාහ කරන ලදී. විදේශ ගත වීම හෝ නො වීම නීත්‍යානුකූල අයිතිවාසිකමකි.
මේ අවස්ථාවේ විදේශ ගත වූවන්ට තම මව් බිමට පෙරළා නොපැමිණෙන ලෙස ප්‍රකාශ කිරීමට, ඉල්ලීමට, කිසිවෙකුට ත් ම අයිතියක් නැත. කොහේ තියෙන නීතියක් ද? හා..හා.. අප නීතිය කතා කළ යුත්තේ නීති ගරුක අය සමඟ ය. නීති ගරුක් නොවන අයට, නීතියට අනුව රටේ ජීවත් නො වන අයට, නීතිය නො වටහෙත්. එවැනි අයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නීතිය ගැන අවබෝධයක් ද නැත්තාහ. නීතියානුකූලව රටේ ජිවත් වන අය පිළිබඳව ඊර්ෂ්‍යා නො වනනවා නම් තමයි පුදුම! එවැනි ඇත්තන්ගෙන් මෙවැනි වචන පිටවීම අරුමයක් ද නො වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1) (උ), (ඌ), (එ) ඡේදවල
“සෑම පුරවැසියෙකුට ම-
(උ) එකලා ව හෝ අන් අය සමඟ යම් නීත්‍යානුකූල, රැකියාවක,
,වෘත්තියක, කර්මාන්තයක, වෙළඳ ව්‍යාපාරයක, හෝ ව්‍යවසායක නියුක්තවීමේ නිදහසට;
(ඌ) ශ්‍රී ලංකාව තුල යාම් ඊම් නිදහසට සහ අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහසට සහ,
(එ) ශ්‍රී ලංකාවට පෙරළා පැමිණීමේ
නිදහසට හිමිකම ඇත්තේ ය.”

යනුවෙන් දක්වා ඇති එකී ඡේද කියවා තේරුම් ගැනීම යහපත් බව අවධාරණය කරමු.
තම රටේ හෝ විදේශයක හෝ නීත්‍යානුකූල රැකියාවක, වෘත්තියක, කර්මාන්තයක, වෙළඳ ව්‍යාපාරයක යෙදීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියට එකඟ බැවින් හිස් ප්‍රලාප දෙඩීම පුරවැසියන්ට කරන අවමානයක් බව ද අවධාරණය කරමු.
නුසුදුසු ඇත්තන් නුසදුසු ආකාරයට රට පාලනය කිරීම ආර්ථික පරිහානියට හේතුව ය. හෘදය ශාක්ෂිය පිළිබඳව විමසා බැලීම වැදගත් වනවා ඇත.