Wed. Jul 3rd, 2024
Spread the News

Ministry of Defence  – Media Centre

විශ්‍රාමික / වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගැන්වූ හමුදා සාමාජිකයන්ගේ සහ යුද්ධයේදී ජීවිත පරිත්‍යාග කල රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුභසාධන සහ පරිපාලන කටයුතු සම්බන්ධව සොයා බැලීම සදහා ශ්‍රී ලංකා යුද හමුදාව වෙතින් දීපව්‍යාප්තව සංවිධානය කරනු වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් අද (ජුනි 02) කුරුවිට ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථාන කදවුරේදී පැවැත්විණ, එහි ප්‍රදාන ආරාධිතයා ලෙස ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බන්ඩාර තෙන්නකෝන් මැතිතුමා එක්වුනු අතර,මෙම වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් ආරක්‍ෂක සේනා මධ්‍යම බලප්‍රදේශය ආවරණ වන පරිදි  ස්වේච්ඡා බල සේනා පුහුණු පාසල- දියතලාව කදවුරේදී ඊයේ (ජුනි 01) දින පවත්වන ලදි.  

ආරක්‍ෂක සේනා බටහිර ආඥාපති මේජර් ජෙනරල් මහේන්ද්‍ර ප්‍රනාන්දු විසින් අද දින උත්සවය වෙත සපැමිණි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාව පිළිගනු ලැබීය.

යුද්ධ හමුදා මූලස්ථානය විසින් මුළු දිවයිනම ආවරණ වන පරිදි අප මාතෘ භුමිය වෙනුවෙන් දිවිපුද කල වීරෝධාර රණවිරුවන්ගේ පවුල්වල සමාජිකයින්ගේ හා විශ්‍රාමික /වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගැන්වූ යුද හමුදා සාමාජිකයන් හට පවතින ගැටළු සොයා බැලීම හා ඔවුන්ගේ පරිපලන ගැටළු නිරකරණය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන් මාලාව සංවිධානය කරන අතර,මේ සදහා යුධ හමුදාවේ විවිධ අධ්‍යක්‍ෂ මණ්ඩල 07 ක් යටතේ උපකාරක සේවා මධ්‍යස්ථාන ස්ථාපිත කර තිබූ අතර, එහිදී රණවිරුවන්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හට ඔවුන්ගේ පැමිණිලි ඉදිරිපත් කිරීමට සහ අවශ්‍ය උපදෙස් ලබාගැනීමට පහසුකම් සලසා දී තිබිණ.

අපගේ සංස්කෘතිය තුල අප දරුවන් ඇති දැඩි කරන්නේ ඉමහත් සෙනෙහසකිනි. එවන් වාතාවරණයක් මත යුධගිනි ඇවිලී තිබූ සමයේ රට වෙනුවෙන් තම දරුවන් යුද හමුදාව වෙත දායාද කල වීරෝධාර රණවිරුවන්ගේ දෙමව්පියන් මෙන්ම පවුලේ සාමාජිකයන් විසින් සිදුකළ අපරිමිත කැපකිරීම් මෙන්ම, මාතෘ භුමියේ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් අපගේ අභීත විරුවන් සිදුකල උත්තරීතර මෙහෙය පිළිබඳව හා රාජකාරි කටයුතුවලදීත්, ඉන් පිටතදීත් ත්‍රිවිධ හමුදාවෙන් සිදුකෙරෙන ඉමහත් සේවය මෙහිදී රැස්ව සිටි පිරිස අමතමින් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා පැසසුමට ලක් කරන ලදි.

රජයේ රෝහල් වෙතින් සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමේදී විශ්‍රාමික රණවිරුවන් මෙන්ම දිවිපුද කල රණවිරුවන්ගේ පවුල් වෙත අපහසුතාවයකින් තොරව ප්‍රමුඛත්වය මත එම සේවාවන් ලබා ගැනීමට කල යුතු ඉදිරි පියවරයන් සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍ය ගරු රමේෂ් පතිරණ මැතිතුමා සමග සාකච්ඡා කල බවත්,  රාජ්‍ය බැංකු ඇතුළු අනෙකුත් රාජ්‍ය ආයතන වෙතින්,  සේවාවන් ලබාගැනීමේදී ප්‍රමුඛත්වය මත සේවාවන් ලබාගැනීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවත්,  සේවයේ සිටින හා විශ්‍රාමික රණවිරුවන් හට සහනදායි පොලියක් යටතේ ණය ලබා ගැනීමට හැකි වන පරිදි ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීම සඳහා ලංකා බැංකු සභාපතිවරයා සමග මේ වන විටත් සාකච්ඡා කර ඇති බව අමාත්‍යවරයා මෙහිදී පවසා සිටින ලදි.

මීට අමතරව, රජය විසින් දැනට ක්‍රියාත්මක කරන ඉඩම් සඳහා සින්නක්කර ඔප්පු ලබාදීමේ ‘උරුමය’ වැඩසටහන යටතේ රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ප්‍රමුඛත්වය මත  ඉඩම් ලබා දීම සඳහා වන කැබිනට් පත්‍රිකාවක් අතිගරු ජනාධිපති තුමා විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කල බවත්, ඉදිරියේදී ප්‍රාදේශීය කාර්යාල හරහා රණවිරුවන්ට හා දිවිදුන් රණවිරුවන්ගේ ලගම ඥාතීන් හට එම සේවාවන් ලබාගැනීමට හැකිවන බවද  අමාත්‍යවරයා සදහන් කරන ලදි.

තවද, රජය විසින් විදේශ රැකියා සදහා ශ්‍රමිකයින්  පිටත් කර හැරීමේදී විශ්‍රාමික රණවිරුවන් වෙත හා රණවිරු පවුල්වල සාමාජිකයින් හට යම් රැකියා ප්‍රමාණයක් ලබා ගැනීමට විදේශ කටයුතු අමාත්‍යාංශය මේ වනවිට සාකච්ඡා කර ඇති බව පැමිණ සිටි පිරිස  අමතමින් අමාත්‍ය තෙන්නකෝන් මැතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි.

ඉන් අනතුරුව රැස්ව සිටි පිරිසට ඔවුන්ගේ පවතින ගැටලු අමාත්‍ය තුමා හට හා ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් වෙත ඉදිරිපත් කිරීමට සහ අදහස් ප්‍රකාශ කිරීමට ද අවස්ථාව සලසා දෙන ලදි.

කෑගල්ල දිස්ත්‍රික් ලේකම්  ජේ එම් ආර් පි ජයසිංහ මහතා, යුද හමුදා විධායක ජෙනරල් මේජර් ජෙනරල් නලින්ද නියන්ගොඩ ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්,  කෑගල්ල හා රත්නපුර යන ප්‍රදේශයන්හි ප්‍රදේශීය ලේකම් වරුන්, රාජ්‍ය නිලධාරීන්, රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.