Fri. Jul 5th, 2024
Spread the News

අපුරු දානය!

දානය යනු මහගූ පින්කමකි.

දානයක් මාහැගී පින්කමක් වන්නේ ඇයි?

පින්කමක් යනු කර්මය සහ ඵලය විශ්වාස කිරීමෙන් යුතුව දෙන්නකි. “අනේ ! මෙපින් බලෙන් සසරේදී මා හට යහපතක්ම වේවා” යන බැති සිතින් යුක්තව කා හට වුවත් කම් නැතිව කරනා පරිත්‍යාගයක් “දානයක්” වේ. මෙතැනදී දානය මහත්ඵල මාහානිසංස වන්නේ කර්මය සහ ඵලය විශ්වාසයෙන් යුතුව කලෝතින් පමණය.

මෙම දානය නමැති උතුම් සත් ක්‍රියාව “තම වාසියට” යොදාගන්නා කර්මයක් ඵලයක් පිළිනොගන්නා වූ පිරිසකගේ ක්‍රියාවත් “දානයක්” යයි ඇතැම් මුඩ ගිහි\පැවිදි ප්‍රඥාවක් නොමැත්තෝ සහ ප්‍රඥා මද වුවෝ සිතති. ප්‍රජ්නාව මද කමින් ලාම්පු දැල්ලට පනින මැස්සා සහ සලබයා මෙන් ඔවුන් ඉන් වැනසෙති.

උදා; තම වාසිය, තමාගේ පැවැත්මට ඇති බාධාවන් ඉවත්කරගැනීම සහ තම ව්‍යාප්තිය උදෙසා එවැන්නෝ මෙම “දානය” නැමැති උතුම් වචනය පාවිච්චි කෙරෙති. දානය එවැන්නන්ට අවියකි. අවියක් භාවිතාකරන්නේ අනෙකෙක් ගේ අයිතිය උදුරාගැනිමක් වෙනුවෙනි. මොවුන් “දානය නැමැති සුක්ෂම අවිය” ඒ සදහා පාවිච්චි කරති.

බලන්න! ඔවුන් මෙම ඔවුන්ගේ “දාන” ක්‍රියාව සදහා අරමුණු කරන විශේෂිත වූ පුද්ගල කාණ්ඩ ඇත්තේය. විශේෂයෙන්ම පැවිද්දන් විශේෂයෙන් අරමුණු කරනු ලැබේ. පැවිද්දාට වූ ප්‍රඥාවේ මදකම නිසා ඔවුන් මේ කරන්නේ රැවටීමක් යයි ඔවුනට කිසිලෙසකත් නොතේරේ. ඔවුන් දෙන දානය වළදා ඔවුන් වෙනුවෙන්ම දිවිය පුරා වෙහෙසෙති. ඔවුන් හට බලය ගැනීම උදෙසා තම දිවි කැපකරති. පාලකයන් සහ පාලනය ගැනීමට වෙහෙසවන්නන් කෙරේ ඊලග වූ “දානය” පුදනු ලැබේ. ඒ තමා කරනා ක්‍රියාව දිනෙක අභියෝගයකට ලක්වේ නම් ඒ සදහා ඔවුන්ගේ පිළිසරණය පතාගෙනය., නමුත් ඔවුනුත් සිතන්නේ මේ “දානය” දෙන්නේ තමාට ඇති ආදරය නිසා කියාය. රැකවලුන් උදෙසා තුන්වන දානය පුදනු ලැබේ. ඒ තමන්ගේ ක්‍රියාවන් බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීම උදෙසායි. එතරම් දැනුමක් නොමැති අහිංසක ජනතාව සතරවන ඉලක්කයයි. බලයකට අවස්ථාව ලැබුණු සෑම විටම ඔවුන් මෙම අවිය ඉතා දැඩිව ක්‍රියාත්මක කරති. අනේ! ඔවුන් කොපමණ කරුණාබරිතද යයි කියා ජනයෝ ඔවුන්ගේ දෙපා නමස්කාර කෙරෙති.

දානය හිස්මුදුනින් පුදලබන අඩවියක, දානය හිස්මුදුනින් වර්ණනා කරනා අඩවියක, දානය සත් ක්‍රියාවක් ලෙස හිස්මුදුනින් පිළිගන්නා අඩවියක මේ “විජ්ජාකාර දානය” පිළිබද වූ අවබෝධයක් බොහෝ අයට නොමැත. ඔවුන් සියල්ලෝම මේ තවත් සැබෑම දානයක් යයි කියා අතිශයින්ම රැවටෙති. නමුත් එය “මාරයාගේ දානය” යයි තේරුම්ගැනීමට මේ අය තුල බුද්ධියක් නොමැත.

“දානයක්”, “මාරයාගේ දානයක්” වන්නේ කෙසේද?

ඊට හේතුව වන්නේ ඔවුන් මේ “දානය” අද පුදන්නේ දිනෙක ඔවුන්ගේ මතයට එරෙහිවන්නන්ට “මල දානය” දීමේ අටියෙනි.

-ධම්මික