Fri. Jul 5th, 2024
Spread the News

ළක් දෙරණේ ගීතය………………………..!

(වත්මන් සියැටල්ලා ගේ අඳෝනාව)

උරුමක්කරුවන් ඔවුන්ගේ නිජ බිම වලින් පලවා හැර අවි බලයෙන් බිම අත්පත්  කර ගැනීම වෙනුවෙන් ක්‍රියාකලා වූ ආක්‍රමණිකයන්ට උරුමක්කරුවන්ගේ නිරන්තර ප්‍රහාරවලට ලක් වීමට සිදුවිය. කූට කුමන්ත්‍රණ වලින් ඔවුන්ගේ බලය පිහිට වූ පසු තම ආක්‍රමණය මෙහි ස්ථාපිත කිරීම වෙනුවෙන් ඔවුන් නොකල දෙයක් නැත.

අවසානයේ කෙසේ හෝ ඔවුන් පරාජය විය.

ඉන් නොනැවතුනු ඔවුන් මේ නිජ බිම ඔවුනට අලෙවි කරනා ලෙස කෙලින්ම නොකියා නොයෙක් කූට උපක්‍රමයන් භාවිතා කරමින් බලපෑම් එල්ල කලේය. ඒ සඳහා ඔවුන් විසින් මෙහි සූක්ෂමව දිගු කලක් තිස්සේ මෙහි ස්ථාපිත කරන ලද ඔවුන්ගේ ඒජන්තයින් යොදා ගත්තේය. අපගේ නිවට නායකයන් මෙහේ සිට ඔවුන්ගේ සුඛ විහරණය වෙනුවෙන් ඊට ටිකෙන් ටික අනුමැතිය දෙමින් සිටියේය. ඊට පිළිතුරු වශයෙන් උරුමක්කරුවන් ගේ හද කකියවන වේදනාව 2022 වූ ජාතික නිදහස් දිනයේදී ලොවට ප්‍රකාශ කරනා කථාවේ අනුවාදයයි මේ.

ලොව ශ්‍රේෂ්ඨ නායකයන් අපගේ ජන්ම භූමිය මිලදි ගැනීමට කැමැත්ත ප්‍රකාශ කරමින් අප වෙත නිරන්තරව ආදරණීය හසුන් පත් ලිවීමට පටන්ගෙන ඇත. ඔවුන් අපට නිතරම සුබ පතන අතර මිත්‍රත්වයේ හෙවත් සන්හිඳීයාවේ දෑත දිගු කරයි. අපගේ මිත්‍රත්වයෙන් ඔවුනට අල්ප වූ හෝ ප්‍රයෝජනයක් නැති බව අපි හොදාකාරවම දනිමු. එහෙත් ඔවුන්ගේ කාරුණික භාවය අපි අගය කරමු. කෙසේ වුවත් අපි ඔබගේ ඉල්ලීම සලකා බලන්නෙමු. මක් නිසාද යත් මේ භූමිය අප ඔබට විකුණන්නේ නැත්නම් ඔබගේ මිනිසුන් කූට උපක්‍රමයන් යොදා හෝ අපගේ භූමිය උදුරා ගන්නා බව අපි හොදාකාරව දන්නා නිසාය.  

නිල් අහසත්, පොළවේ උණුසුමත් විකිණීම හෝ මිලදී ගැනීම සඳහා වූ ඔබගේ අදහස අපට නුහුරු වන්නේය. සුළඟේ නැවුම් බව හෝ ජලයේ කාන්තිය අපට අයිති නොවේ නම් එවා මිල කිරිමට හෝ මිල දී ගැනීමට ඔබට හෝ අපට හැකියාවක් නැත.

මේ මිහිතලයේ සෑම බිම් අඟලක්ම මගේ පරපුරට ශුද්ධ වූ වස්තුවකි. වෘක්ෂයක හැම කිනිත්තක් ම, වැලි තලා වලින් පිරී ගිය සෑම වෙරළක්ම, අඳුරු වනාන්තරවල තිබෙන සෑම මිහිඳුම් වලාවක් ම, සිහින් හඬන් ගී ගයන සෑම කුඩා ප්‍රාණියෙක් ම මගේ මිනිසුන්ගේ මතකයේ හා අත්දැකීම් සමුදායේ පුජනීය වූ වස්තුහු වන්නෝය. ගස් අතරින් විහිදී යන සෑම අඩිපාරක ම උරුමක්කරුවා පිළිබඳ ස්මරණය රැගෙන යන්නේය. මිත්‍යාදෘෂ්ටිකයන් වන නුඹලාගේ මළගිය ඇත්තෝ මරණයෙන් පසු තම මව්බිම අමතක කොට දෙව්ලොව සැරිසරති. මහ පොළව උරුමක්කරුවන්ගේ  මැණියන් වන බැවින් අපගේ මළගිය ඇත්තෝ මේ සුන්දර මිහිතලය අමතක නොකොට මෙහි ම රැඳෙන්නෝ වෙති. ඔවුන් අප අතරම සිට අප කල කී දෑ දෙස නිරන්තර නිරීක්ෂණයකට ලක් කරන්නෝ වෙති.  අපි මිහිතලේ කොටසක් වන්නෙමු. සුගන්ධවත් පුෂ්පයො අපගේ සොහොයුරියෝ ය. ඇතා, සින්හයා, වලසා, මුවා, ගෝනා, හා පොඩ්ඩා, මේ සියල්ලෝ ම අපගේ සහෝදරයෝ වෙති. ගිරි ශිඛර ද, වනාන්තරයන් ගේ තෙතමනය ද, අටපෙතියාගෙත්, මිනිසාගේත් සිරුරේ උණුසුම ද, යන මේ සියල්ල ම එක ම පවුලකට අයත් වන්නේය.

ලොව ශ්‍රේෂ්ඨ නායකයන් අපගේ භූමිය මිලට ගැනීමට කැමැත්ත පළ කරමින් කරන ආදරණීය ඉල්ලීම අපට දරා ගන්නට නොහැක්කකි. ඔවුන් අපට සුව පහසුවෙන්, සැනසිල්ලේ ජීවත් වීමට වාසස්ථාන ඒ වෙනුවට ලබා දෙන බව දන්වා සිටිති. ඔවුන් අපගේ පිතෘවරුන් වැනිය. කරුණාවන්තකම දෝරේ ගලා යමින් ඇත. එවිට අපි ඔවුන්ගේ දරුවන් ඔබට පත් වෙමු. එනිසා අපගේ භූමිය මිල දී ගැනීම පිළිබඳ ඔබගේ යෝජනාවට අපගේ අවධානය යොමු කරන්නෙමු.

නමුත් එය අපට එතරම් සුවදායී කාර්යයක් නොවන්නේ මේ භූමිය අපට පූජනීය වස්තුවක් වන හෙයිනි.

ගංගා දිගේ ගලා බස්නා දිදුලන දිය දහර හුදු ජලය ම නොව අපගේ මුතුන්මිත්තන්ගේ රුධිරයයි. අප ඔබට අපගේ භූමිය විකිණුව හොත් එය අපට ශුද්ධ වස්තුවක්ව කලක් තිබු බව පමණක් ඔබගේ මතකයේ තබා ගත මැනවි. පොකුණුවල පැහැදිලි ජලතලාවේ පතින වන සැම අඳුරු ඡායාවක්ම කියා පාන්නේ මගේ  වර්ගයාගේ ජීවන සිදුවීම් හා මරණ බව ඔබේ දරුවන්ට වටහා දෙනු මැනවි. මේ ජලය නහන මිමිනුම මගේ මුතුන්මිත්තන්ගේ කටහඬ වන්නේ ය.

ගංගාවෝ අපගේ සොහොයුරෝ වෙති. ඔවුහු අපගේ පිපාසය සංසිඳවති. අපගේ ඔරු ද පාරු ද ගෙන යති. අපගේ දරුවන්ද ඔවුන් පොෂණය කරති. අප මේ භූමිය ඔබට විකුණුවහොත් මේ ගංගා අපගේත් ඔබගේත් සහෝදරයන් බව අමතක නොකරනු මැනවි. ඔබේ දරුවන්ට ද එය කියා දෙනු මැනවි. එතැන් සිට වෙනත් ඕනෑ ම සහෝදරයකුට දක්වන කරුණාව ගංගාවලට ද දක්වනු මැනවි. එය අපගේ ඒකායන ඉල්ලීමකි.

ගිරි ශිඛරය වසා සිටින හිමිදිරි මිහිදුම, උදාවන හිරු ඉදිරියේ පලා යන්නා සේ ආක්‍රමණය ඉදිරියේ උරුමක්කරුවා පසු බැස ගොස් ඇත. එහෙත් අපගේ පියවරුන්ගේ භෂ්මාවශේෂ අපට පූජනීය වන්නේය. ඔවුන්ගේ සොහොන් බිම් අපට පූජනීය භූමි වන්නේය. එහෙයින් මේ කඳු මේ තුරුලතා සහ මේ බිම අපටම කැප වූ භූමියකි. ආක්‍රමණිකයන් වන ඔබ අපගේ සිරිත් විරිත් නොදන්නා බව අපි දනිමු. ඔබට එක් බිම් කඩක් තවත් බිම් කඩකට වඩා වෙනස් නොවේ. අකාලයේ පැමිණ භූමියේ තිබිය යුතු දේ පැහැර ගෙන කහවනු කරනා ඔබගේ මිනිස්සු මේ භූමියට පිටස්තරයො වන්නාහ. පොළොව ඔවුනට සහෝදරයෙකු නොව සතුරෙකි. භූමිය අත්පත් කර ගැනීමේන් පසු ඔවුහු එය අමතක කොට තවත් බිම් පෙදෙස් යටත් කර ගනිමි යයි සිතමින් ඉදිරියට ඇදෙති. ඔවුහු තම පියවරුන්ගේ සුසාන කිසිඳු තැකීමකින් තොරව කහවනු කර යති. ඔවුහු තම මවටත් සහෝදරයාටත් මහ පොළොවටත්, ඔහුගේ අහස් තලයටත් සලකන්නේ මීලට ගත හැකි කොල්ලකෑමට හෝ විකිනීමට හැකි බැටළුවන් හෝ දීප්තිමත් පබළු වැනි දැ ලෙසිනි. ඔවුන්ගේ කෑදරකම විසින් මේ භූමියෙහි සාරය උරා බොනු ලැබීමෙන් පසු ඉතිරි වන්නේ හිස් කාන්තාරයක් පමණි.

අපගේ සිරිත් විරිත් ඔබගේ සිරිත් විරිත් වලට වඩා වෙනස් වන්නේ ය. ඔබගේ නගරවල දර්ශන උරුමක්කරුවා ගේ නෙත් වලට වේදනාව ගෙන දෙන්නේය. එසේ වන්නේ උරුමක්කරුවන් වන අප වනචාරි මිලේච්ඡයන් වන නිසා විය හැකි ය. ඔබගේ නගරවල නිසංසල තැන් නැත. තැනක් සොයා ගත නොහැකිය. වසන්ත සමයේ ඔබගේ නගරයන්හි තුරුලතාවල දලු කොළ විකසිත වන හඬ හෝ කුඩා කෘමි සතුන්ගේ පියාපතවල සිලි සිලි හඬ සවන වැකෙන්නේ නැත. එහි ඇත්තේ ඝෝෂාව පමණකි. එය දෙසවනට මහත් හිරිහැරයක්ම වන්නේය. මට එසේ හැඟෙන්නේ මගේ නොතේරුම්කම නිසා විය හැකි ය. මිලේච්ඡයන්ට එබඳු දේ වටහා ගැනීම අපහසු වන්නේය.

එහෙත් උලමාවෙක් ගයන හුදකලා ගීතය හෝ රාත්‍රියේ පොකුණක් අසබඩ මැඩියන්ගේ තර්ක විතර්ක වැනි දෑ ද ඇසීමට නො ලැබෙන ජීවිතයේ හරයක් ඇත්තේ ද? මම නුගත් උරුමක්කාරයෙක් වෙමි. එනිසා මට මේවා තේරුම් ගත නොහැකිය.

සිරි පොද වැස්සේ තෙමෙන බෝ තුරු මුදුනින් නැගෙන සුවඳ, මඳ මුදු පවනේ පාවී අපගේ ගත සිත සනසන්නේ ය. සුළඟ උරුමක්කරුවාට බෙහෙවින් අගනේ ය. සත්තු, තුරුලිය, මිනිස්සු යන අපි සියලු දෙනාම එකම ප්‍රාණ වායුව හවුලේ බෙදා ගනිමු. ඔබගේ මිනිස්සු තමන් ආශ්වාස ප්‍රාශ්වාස කරන වාතය ගැනවත් නොදන්නෝය. මියැදෙමින් සිටිනවුන් සේ ඔවුහු සුළගේ සුවඳ නො දනිති. අප අපගේ භූමිය ඔබට විකිනුවහොත් මේ සුළඟ කලක් අපට බෙහෙවින් වටිනා එකක් වු බව අමතක නොකළ මැනවි. අපගේ මුතුන්මිත්තන්ට ජීවය ලබා දුන් සුළඟ ම ඔවුන්ගේ අවසාන හුස්ම ද ආපසු ලබා ගන්නේය. ඒ සුළඟ ම අපගේ දරුවන්ගේ ද ප්‍රාණ වායුව වන්නේ ය. ඔබ එය ශුද්ධ වස්තුවක් ලෙස ආරක්ෂා කළ යුතු ය. තණ පත් අතර පිපි කුසුමින් මකරන්දය උරාගෙන කැලෑ බිම් හරහා යන මඳ සුළගේ පහස විඳීමට ඔබටත් හැකි වනු ඇතැයි අපි ප්‍රාර්ථනා කරමු.

නැවතත් එසේ නම් අපේ භූමීය මිලට ගැනීම සඳහා ඔබ කරන යෝජනාවට අපගේ අවධානය යොමු කරන්නෙමු. ඒ එක් කොන්දේසියක් යටතේය. ආක්‍රමණිකයන් වන ඔබ මේ භූමියේ ජීවත් වන සියලු ම සතුන් ඔබගේම සහොදරයන් ලෙස සලකන බවට පොරොන්දු විය යුතුය.

මම උරුමක්කාර මිලේච්ඡයෙක් වන්නට පුළුවන. ඉන් බාහිර කිසිවක් මට නොවැටහෙන්නට පුළුවන. යායක කා වැඩෙන මරාදැමීමකට නියමිත වූ අහින්සක මී ගවයන්ද, කූඩූ කරා මරා දමන්නට නියමිත දහස් ගනන් ප්‍රාණීන්ද මම දැක ඇත්තෙමි. මී හරකා ගේ ප්‍රාණය ට වඩා මිනිසාගේ ප්‍රාණය වැදගත් වන්නේ කෙසේ දැයි මට වැටහෙන්නේ නැත. තිරිසන් සතුන්ගෙන් තොර ලොවක මිනිසුන්ට ජීවත් විය හැකක්කේද? සියලු තිරිසන් සතුන් විනාශ වී ගියහොත් ජීවිතයේ දැඩි හුදකලා බවින් මිනිසා ද විනාශ වී යනු ඇත. එ තිරිසනුන්ට සිදුවන දේ කුමක් වුවත් මිනිසාට ද එය ඉක්මනින්ම සිදු වන නිසා ය. ලෝකයේ පවත්නා සියලු දේ අතර ඇත්තේ එකිනෙකට බැඳුනු ඥාතීත්වයකි.

ඔබගේ දරුවන් දෙපයින් නැගී සිටින්නේ අපගේ මුතුන් මිත්තන්ගේ භෂ්මාවශේෂයෙන් පෝෂණය වු භූමියක බව මතක තබා ගත මැනවි. භූමිය අපගේ මාතාවයි. මවු බිමට සිදු වන ඕනෑම හොඳක් හෝ නරකක් හෝ එහි ජීවත් වන දරුවනටත් උරුම වන්නේ ය.

මිනිසා භූමියට කෙළ ගැසීමෙන් කරන්නේ තමාට ම කෙළ ගසා ගැනීමකි.

අප දන්නා පරිදි මේ මහ පොළොව මිනිසාට අයිති නැත. එහෙත් මිනිසා මහ පොළොවට අයත්ය. පවුලේ සියලු දෙනා එකම ලේ බැම්මකින් බැඳෙන්නාක් මෙන් මෙලොව ඇති සියලු දෙයම එකට බැඳී තිබෙන බව අපි දනිමු. ජීවිතය නැමැති දැල මිනිසා විසින් වියන ලද්දක් නොවේ. ඔහු එහි නූල් පටක් පමණි. මිනිසා එම දැලට යම් හානියක් කරගතොත් ඒ තමාට කර ගන්නා උපද්‍රවයකි.

අප වර්ගයා වෙනුවෙන් පිහිටුවන්නේ යැයි ඔබ විසින් කියනු ලබන ස්වර්ගයට යාම පිළිඹඳව අපි ඊ ළඟට සලකා බලන්නෙමු. අපි මෙහි සාමයෙන් ජීවත් වන්නෙමු. මේ ඉතිරි වී ඇති සුළු කාලය කොතැනක හෝ ජීවත් වුව ද අපට කම් නැත. අපගේ පරපුරේ තව වැඩි දෙනෙකු නැත. තව ඍතු කීපයක් ගෙවී ගිය කල මේ මහා පොළොවේ ඔබ මෙන් බල සම්පන්න වීර ගොත්‍රිකයන් වෙනුවෙන් වැලපීමට අප පරපුරයෙහි කුඩා දරුවකු හෝ ජීවත් නොවනු ඇත. එය එසේ නම් මගේ මිනිසුන් වෙනුවෙන් ඔබ දුක්වන්නේ ඇයි? ගෝත්‍ර සෑදී තිබෙනන්නේ මිනිසුන්ගෙනි. මිනිස්සු ජීවත් වී මිය යති.

අන්තිම උරුමක්කරුවාත් මේ බිමෙන් අතුරුදන් වූ විට ඔවුන්ගේ මතකය දෙරණ හරහා පාවෙන වලාකුළක ඡායාවක් බවට පත්වූ විට මෙම වන පෙත මගේ මිනිසුන්ගේ ජීවන සුවඳ ඉදිරියටත් රඳවා ගනු ඇත්ද? අපගේ මිනිසුන් මේ භූමියට ආදරය කළේ කිරි දරුවකු තම මවගේ හදවතේ රිද්මයට ආදරය කරන්නාක් මෙනි.

-ධම්මික