Wed. Jul 3rd, 2024
Anura Kumara Dissanayake Nnp Galle Face]Anura Kumara Dissanayake on X: "National People's Power (NPP) rally at Galle Face Green
Spread the News

අනුර කුමාර කතාවට දක්ෂ වගේම, සංකල්ප හා අදහස් හොරකම් කරන්නත් ඉතාමත් දක්ෂයි.

අනුර කුමාරලගේ ගෝල බාලයෙක් වන වරක් ජනාධිපති කමට ඡන්දය ඉල්ලූ ඉසුරු සුභසිංහට මා දුන් උපදේශයක් වංචනිකව සොරකම් කරගත් මුළු ජවිපයම එය ඔවුන්ගේ න්‍යායික සංකල්පයක් ලෙස (විකල්පය නොව විසඳුම) දිගින් දිගටම භාවිතා කළා.

ඊනියා පන්ති අරගලය සහ මාක්ස්වාදී ආර්ථික න්‍යාය යල්පැනපු බව මා පර්යේෂණාත්මකව ඔප්පු කළේ 1980 වසරේදීයි.
ඒ මතයත් දැන් ජවිපෙ සංකල්පයක් වෙලා.

අප විසින් වෙනස් කළ යුත්තේ දේශපාලනය නොව දේශපාලන සංස්කෘතිය බව මා විසින් වරින්වර ලියන ලද ලිපිවල සඳහන් කරනු ලැබුවා.

System Change නැමැති මනෝරාජික සංකල්පය සඳුන් කැටයක් මෙන් උරච්චිකරමින්, ජනතාවගේ නළලේ එය උළා මහෞෂධ පණ්ඩිතයෙක් වෙන්න උත්සහ කළ අනුර කුමාර දිසානායක System Change දැන් යල් පැන ඇති නිසා, දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතු බව දැන් පවසනවා. ඊට සමගාමීව NPP කණ්ඩායමේ හරිණි අමරසූරිය මුළු රටම Reset කළ යුතු බව කියනවා.

හරිණි රට යනුවෙන් අදහස් කළේ කුමක්ද යන්න හරිණිවන් නොදන්නා බවයි පෙනෙන්නේ.

රටක් කියන්නේ පාර්ලිමේන්තුව නොවෙයි. දේශපාලන බලය ලබා ගැනීම සඳහා ජනතාව වෙනස් කරන්න ඕන බවක් ඇය සිතනවා විය හැකියි.

රට යනු ගෞරවනීය මෙන්ම පූජනීය ප්‍රපංචයක්.
සිංහල බෞද්ධ රටක් යනු ඉතිහාසය විසින් නිර්මාණය කරන ලද සුන්දර වස්තුවක්. මතු උපදින පරපුරටත් ආශිර්වාදයක් ආශ්වාදයක්.

හරිණිට කෙසේ වෙතත් හරිණිව බළල් අතක් සේ පාවිච්චි කරන උන්දැලාට ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ සංස්කෘතිය reset කිරීමේ දැඩි අවශ්‍යතාවයක් තිබෙන බව පෙනෙනවා. අනුර කුමාර විසින් සොරාගත් දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ සංකල්පය තුළින් පවා හඳුන්වා දීමට උත්සාහ කරන්නේ මොහොකටවත් නැති කෝකටත් තෛලයක්.

දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ සැබෑ අවශ්‍යතාවයක් තිබුණේ නම් පටන් ගන්න තිබුණේ තමන්ගේම සාමාජිකයින්ගෙන්.

බුදුන් කොස්ගහකට හෝ දෙල්ගහකට පිට දුන්නේ නම් ලංකාවේ මිනිසුන් කොස් කාලත් ඉවරයි දෙල්කාලත් ඉවරයි කියා සම්ප්‍රප්ප්‍රලාපයක් ඇද බෑවේ ජවිපෙ මධ්‍යම කාරක සභිකයෙක් වන නලින් හේවගේ.

ඔවුන්ගේ බෞද්ධ විරෝධී සංග්‍රාමය මෙයින් අවසන් වන්නේ නැහැ.
ඔවුන්ගේ මෙම පහත් හැසිරීම ඉදිරියේදී ඇතිවන දැවැන්ත විනාශයක පෙර නිමිත්තක්.

ශ්‍රී ලංකාවේ දුක් විඳින අහිංසක ජනතාවනේ!

ඔබව ආර්ථික හිංසනයෙන් මුදවා ගන්න කාර්ල් මාක්ස් හෝ කිලුටු වුණු ආත්මය පිරිසිඳු කර දිව්‍යලෝකය කරා ගෙනයාමට දෙවියන් එන්නේත් නැත.

කවුරු මොනවා නැතිවුනත් ඔබට ඔබ ඇත. මෙතෙක් රට පාලනයට සහභාගි වුණු ද්‍රෝහියන් අතර ජව්පෙ අයත් සිටි බව ජනතාවට අමතක කරවන්න
NPP ප්‍රාඥයන්, පොතේ ගුරන්, විශ්‍රාමලත් මාණ්ඩලික හමුදා නිලධාරීන් හා බලය සිටි දූෂිත ආණ්ඩුවලින් හොඳින් සප්පායම් වුණ බංකොලොත් පරිපාලන නිලධාරින්
ජවිපෙ සාමාජිකයින්ගේ දෑත් වල ලේ පැල්ලම් සෝදමින් රැල්ලක් පවා නොගසන සාමකාමී වෙරළක් ජනතාවට මවා පෙන්වමින් සිටිති.

බොරුව දූෂණය හා වංචාව විටෙක වේරම්භවාතයක් ලෙසින් ද තවත් විටෙක අති බිහිසුණු සුනාමියක් ලෙසද ගම්බිම් විනාශ කරමින් අහිංසක මිනිස් ජීවිතද දේපළ ද බිළි ගනු ඇත.

අද අප ජීවත් වන්නේ අනාරක්ෂිත බවට හා බියට පත්වුණු මිනිසුන් පමණක් පළා යන රටක නොව දෙවි දේවතාවුන්ට පවා උන් හිටි තැන් අහිමි වුනු වැස්ස පවා සාපයක් වුණු වරෙක දිව්‍යලෝකයක් ලෙසින් සැළැකුණු පාළු හුදකලා තනිවුණු රටකයි.

අනුර කුමාර අතිමහත් උජාරුවෙන් ලෝකය වටා යමින් දේශපාලන න්‍යායාචාර්යවරයෙකුගේ භූමිකාව රඟපාමින් සිටිනවා.

මට වෙලාවකට අනුර කුමාරව පේන්නේ යාළුවෙකුගෙන් ඉල්ලාගත් මගුල් ඇඳුමක් ඇඳගෙන පෝරුවට නැග්ග කුළෑටි පහේ පුංචි මනමාලයෙක් ලෙසින්.

කවදාවත් නැතිව සිංහලෙන් කරන කතා වලදී ඉංග්‍රීසි කෑලි දැමීම මගෙන් සොරාගත් සංකල්පයක් නොවෙයි.

ඉංග්‍රීසි බැරිකම මිනිස්කමට නිගාවක් නොවන බව මෙනෙහි කළ යුතුව තිබියදී, බටහිර පන්නයට හැදුණු NPP සාමාජික සාමාජිකාවන්ගේ පහන් සංවේගය පිණිස ඉංග්‍රීසි කෑලි දමමින් සිංහලෙන් කතා කිරීම ඔවුන් බලයට පැමිණි දිනයක
දිවි හිමියෙන් රකින්න බලාපොරොත්තු වන සංස්කෘතියක පෙරහුරුවක් බව කනගාටුවෙන් වුවත් කිව යුතුව තිබෙනවා.

අති විශාල ජන බල වේගයකින් ජනාධිපති කමට තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ ගේ විනාශයටත් එක් හේතුවක් වූයේ තමන්ගේ මව් භාෂාව පාවාදෙමින් ඉංග්‍රීසි කෑලි දමමින් පිටිසර ගම්බද ගොවියන් ගෙවිලියන් ඉදිරියේ පවා තුප්පහි භාෂාවක් සමාජගත කිරීමට කිරීමට ගත් දීන උත්සාහයයි.

අනුර කුමාර දැන් අපගෙන් සොරකම් කරගත් “දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ” සංකල්පයට සිංහල හා ඉංග්‍රීසි කලවම් කර ගත් අච්චාරු භාෂාව පූර්වකොන්දේසියක්ද?

-තෙවැනි ඇස-
19.06.2024

Leave a Reply

Your email address will not be published. Required fields are marked *