Sat. Jun 29th, 2024
Spread the News

අධිකරණය කැනබිල්ලෝකරණය /Judicial cannibalism* රනිල් ගමනේ අවසානයද?

වර්තමාන අනුප්‍රාප්තික ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් ගෙනා ස්ත්‍රී පුරුෂ සමාජභාවිය සමානත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පතේ නම දෙස බැලීමේදී එහි නම අහිංසක සහ සාධාරණ ලෙස පෙනේ. එසේ වුවත් එහි අන්තර්ගතයේ ඇති කාරණා වල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය සළකා බැලීමේ නෛතික බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 120 සහ 121 ව්‍යවස්ථා යටතේ බාර කර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට ය.

ස්ත්‍රී පුරුෂ සමාජභාවිය සමානත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය
සම්බන්ධයෙන් සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය  සිය තීරණය කතානායකවරයා වෙත යොමු කර තිබූ අතර,  ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය 2024.06.07 (සිකුරාදා) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මහින්ද යාපා අබේවර්ධන කතානායකවරයා එම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති සහ විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 9, 10, 12, 14.1.e, 14.1.f, ව්‍යවස්ථාවන්ට පටහැනි බවත් ඒ අනුව පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුද ඇතුලුව 2/3 කට නොඅඩු සංඛ්‍යාවක් අනුමත කිරීම සහ ජනමතවිචාරණයකින් ජනතාව අනුමත කිරීමද අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව ප්‍රකාශ කළේය.

එසේ තිබියදී 2024.06.18 (අඟහරුවාදා) දින රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා විසින් ස්ත්‍රී පුරුෂ සමාජභාවිය සමානත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට සහ  (අධිකරණය කැනබිල්ලෝකරණය) /
ජුඩීසිඅල් කැනිබලිසම් / Judicial Cannibalism* ආදී වශයෙන් ප්‍රකාශ කරමින් පාර්ලිමේන්තුවේදී එකී තීරණය විවේචනය කළේය.

අනුප්‍රාප්ති ජනාධිපතිවරයා
පාර්ලිමේන්තු වරප්‍රසාදවලට, ජනාධිපති බලතල වලට මුවා වී, නීතියේ පාලනයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට කළ අයුතු මැදිහත්වීමක් නොවන්නේද යන ප්‍රශ්නය මේ වන විට සමාජයේ විවිධ කොටස් අතර පැන නගී.

* Cannibalism යනු මිනීමස් කෑම, මිනිසුන් විසින් මිනිස් මස් අනුභව කිරීම

* Cannibalism, eating of human flesh by humans
(https://www.britannica.com)

නීතියේ පාලනය වෙනුවෙන් අදහසක් ඇති කිසිවෙකුට අනුප්‍රාප්තික ජනාධිපතිවරයාගේ එකී අධිකරණය කැනබිල්ලෝකරණය / ජුඩීසිඅල් කැනිබලිසම් / Judicial Cannibalism* කාරණා සම්බන්ධයෙන් එකඟ විය නොහැකිය.

රනිල් වික්‍රමසුංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා මෙතෙක් අත්කරගෙන තිබූ දීර්ඝකාලීන අත්දැකිම් සහ පරිචය අහිමි කර ගත්තේ අධිකරණයට අදාලව අධිකරණය කැනබිල්ලෝකරණය/ ජුඩීසිඅල් කැනිබලිසම් / Judicial Cannibalism ලෙස ප්‍රකාශ කිරීමත්, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බවට ප්‍රකාශ කිරීමත් හේතුවෙන් බව කිව හැකිය.

එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් වන අතර, 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනතේ 15 වන වගන්තිය සමඟ කියවීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 ව්‍යවස්ථාව අනුව නඩු පැවරිය හැකි තත්ත්වයකි.

අධිකරණයේ, නීතියේ ආධිපත්‍යයේ, ඇතැම් විනිසුරුවරුන්ගේ ක්‍රියාවන් සම්බන්ධයෙන් බරපතල ගැටලු ඇතිබව සැඟවිය නොහැකිය. ජනතාව ඒ ගැන ප්‍රසිද්ධියේ කතා නොකලද, ජනතාවගේ හෘදය සාක්ෂිය, නීතියේ ආධිපත්‍යය සිදුවන, ක්‍රියාත්මක කරන, විසඳන ආකාරය ගැන ගැන ඇත්තේ ලස්සන චිත්‍රයක් නොවේ.

නීතියේ ආධිපත්‍යයට බාධාවන දේ නිවැරදි කිරීමට නිදහස් අධ්‍යාපනය ලබා කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයෙන් නීති උපාධිය ලැබූ රනිල් වික්‍රමසිංහ  අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට දැඩි අවශ්‍යතාවයක් තිබිය හැකි වුවත්, අධිකරණය අදාලව
අධිකරණය කැනබිල්ලෝකරණය/ජුඩීසිඅල් කැනිබලිසම් / Judicial Cannibalism යන්න, ස්ත්‍රී පුරුෂ සමාජභාවිය සමානත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය වෙනුවෙන් යෙදවීමෙන් බරපතල නෛතික අර්බුදයකට මාර්ගය විවර කර ගත්තේය.

අධිකරණයට “කැනබිල්ලෝකරණය” කිරීම නුසුදුසු තත්ත්වයක් වන අතර, එය අධිකරණයේ ස්වාධීනත්වයට, ගෞරවයට, බල බෙදීමේ සිද්ධාන්තයට අහිතකරය.

රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් ගැඹුරෙන් කල්පනා කළ යුතු බව මෙම ලේඛකයාගේ අදහසයි.

අධිකරණය කැනබිල්ලෝකරණය/ජුඩීසිඅල් කැනිබලිසම් / Judicial Cannibalism* රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයාගේ ගමනේ අවසානය බවට මේ වනවිට පත් වී ඇති අතර, ජනාධිපතිවරයා විසින්ම කරගත් ඒ දෝෂය නිවැරදි කිරීම කළ හැකි මාර්ග කිහිපයක් පැවතියද මෙම ලිපියෙන් ඒ ගැන කරුණු දැක්වීමට අදහස් නොකෙරේ.

කියවන්න,
ජුඩීසිඅල් කැනිබලිසම් / Judicial Cannibalism* ” ප්‍රකාශය රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට, ජනාධිපති වීමට අපේක්ෂාවක් ඇත්නම් එය අහිමි කරයිද?
http://neethiyalk.blogspot.com/2024/06/judicial-cannibalism.html?m=1

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394 (2024.06.22)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *