Fri. Jul 5th, 2024
Spread the News
International Women’s Day
Courtesy Harini Amarasuriya FB

අද කාන්තා දිනය නිසා, කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා විය යුතුයයි කියමින් අද දවසේ කාන්තාවන් දහස් ගණනින් කොළඹට පැමිණ පොලිසිය සමග ගැටුමක් ඇතිකරගත්තා.
මෙම පෙළපාලියේ ඉදිරියෙන්ම ගමන්ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය කලින් සැලසුම් කරගත් පරිදි ම කැමරා ඉදිරියේ ” විහාර මහා දේවී” ලෙස කළ රඟපෑමේ කිසිම තාත්වික බවක් තිබුණේ නැත.

මෙම පෙළපාලියේ ම ගමන් කළ පෝල්‍ රාජ් නමැති කාන්තාව මෙහිදී ඉතාමත් චතුර ලෙස කතා කරමින් කාන්තා හිංසනයට විරුද්ධව අදහස් දැක්වූවා. හරිණි හැසුරුණේ වයින් කළ බෝනික්කෙක් මෙන්. හේතුව ඇය නියෝජනය කළේ කාන්තාවන් නොව, බඩගෝස්තරවාදී දේශපාලන කණ්ඩායමක් වීමයි.

බලයට ඒම සඳහා ඕනෑම කුපාඩි වැඩක් කිරීමට සැදී පැහැදී සිටින ජවිපෙය හරිණි වැනි උගත් කාන්තාවක් කාන්තා දිනය වෙනුවෙන් කියා පාරට බස්සවා ආරක්ෂක අංශ සමග ගැටුමක් ඇති කර ගැනීමට මග පාදා ගත්තේය.
එම කාන්තා

පෙළපාලියට වතුර විදීම හා කඳුළු ගෑස් ගැහීම කාන්තා හිංසනයක් ලෙස ව්‍යාජ ලෙස හුවා දක්වන්නට හරිණි වැනි කාන්තාවක් යොදාගෙන ඊට ලැබෙන ජනතාවගේ අනුකම්පාව තුළින් ඡන්ද ගොඩට තව ඡන්ද කීපයක් වැඩිකරගැනීමට මෙම ඊනියා විමුක්තිකාමීන් දුබල උත්සාහයක් දැරුවා.

පෙළපාලි මර්දනය කිරීමේ ක්‍රියාදාමය තුළ පොලිස් කාන්තාවන් ද සේවයෙහි යොදවා සිටින බව හරිණී දැන සිටියේ නැද්ද?

ඇය අඩු වශයෙන් එම පොලිස් කාන්තාවන් ගෙන් හෝ සහාය පතා ඉල්ලීමක් කළේද?

ඊනියා ජාත්‍යන්තර කාන්තා දිනයේ ශ්‍රී ලංකා භූමිකාවේ කාන්තාවන්ට හිරිහැර කිරීම සඳහා කාන්තා පොලිස් නිලධාරීන් යොදා ගැනීම හෙළා දකිමින් මෙම පුහු අරගලයේ සිටි කිසිම කාන්තාවක් කෙළ බිඳුවක් හෙළුවේ නැත. එයින්ම පැහැදිලි වෙනවා මෙම පිරිස් අද පාරට බැස්සේ කාන්තා විමුක්තිය වෙනුවෙන් නොව සාරධර්ම අතින් පිරිහුණ අවස්ථාවාදී දේශපාලන කණ්ඩායමකට බලය ලබාදීම සඳහායි. ඇතිවන හැම ගැටුමක්ම තමන්ගේ වාසියට හරවා ගැනීමේ පරම චේතනාවෙන් එය කළ බව මෙය නැරඹු ඕනෑම කෙනෙකුට පැහැදිලි වනු ඇත.

වසරකට සැරයක් මේ දිනය සමරන්න කියා කෑ ගසන කාන්තාවන් මහ මැතිවරණයකදී පුරුෂාධිපත්‍යයට තමන්ගේ වටිනා ඡන්දය පාවිච්චි කර රට විනාශ කරන්න ඉඩදී, ඊට පසුව ඊළඟට බලයට එන්න බලාගෙන සිටින දේශපාලන කණ්ඩායමක් වෙනුවෙන් අද වීදි බැස සටන් කර පෙන්නුවෙ කාගේ හයියක්ද?

හරිනි අමරසූරිය අද දින කඩේ ගියේ පීඩිත කාන්තාවන් වෙණුවෙන්මද කියන ප්‍රශ්ණයට පිළිතුර ඇත්තේ ඇය ලඟමය.

එහෙත් ඇත්ත කීමට තරම් ආත්ම ශක්තියක් ඇය ළඟ නැත.

– එඩ්වර්ඩ් –

08.03.2023