Mon. Jul 8th, 2024
Spread the News

අතුරුගිරියේ සිසුන් මත්කළ පෙට්‌ටිකඩේ අක්‌කා

මුළු මහත් රටටත් ජාතියටත් පිළිලයක්‌ වූ මත්ද්‍රව්‍ය උවදුර වර්තමානය වන විට රටපුරා ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් පවතී. මෙම මත්ද්‍රව්‍ය උවදුරින් ජනතාව ගලවා ගැනීම සඳහා රජය ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය නිවාරණ සංවිධාන සහ ආයතනයන් විශාල උත්සාහයක නිරත වී සිටිති. නමුත් ඔවුන්ටද මේ වනතුරුත් මත්ද්‍රව්‍ය උවදුරින් රට බේරා ගැනීම සඳහා හරි හමන් දෙයක්‌ කිරීමට නොහැකි වී තිබේ. ඒ තරමටම මත්ද්‍රව්‍ය මාµsයාව රටපුරා ව්‍යාප්ත වී තිබේ. වර්තමානය වන විට මෙරට බොහෝ පිරිසක්‌, ගැහැනු පිරිමි භේදයකින් තොරව විවිධ මත්ද්‍රව්‍ය වර්ග භාවිත කිරීමට පුරුදු වී සිටිති. මෙය රටටත්, ජාතියටත් විශාල අභාග්‍යයකි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ විවිධ උපක්‍රම භාවිත කරමින් මත්ද්‍රව්‍ය භාවිතය සඳහා මිනිසුන් ඇබ්බැහි කර ගනිති.

වර්තමානය වනවිට මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ප්‍රධානම ඉලක්‌කය වී ඇත්තේ පාසල් ශිෂ්‍යයන්ය. මෙම තිරිසනුන් විවිධ උපක්‍රම භාවිත කර පාසල් සිසුන්ට මත්ද්‍රව්‍ය ලබා දෙයි. පැණි බීම, ටොµs සහ චොකලට්‌ ආදී කෑම වර්ගවලට විවිධ මත්ද්‍රව්‍ය භාවිත කරමින් පාසල් ළමුන්ට විකිණීම මෙම ජාවාරම් කරුවන්ගේ එක්‌ උපක්‍රමයකි. පසුගිය මාස කිහිපය ඇතුළත දිවයිනේ ප්‍රදේශ ගණනාවකින් මෙවැනි පැණි බීම සහ කෑම වර්ගවලට මත්ද්‍රව්‍ය දමා පාසල් ළමුන්ට විකුණූ පුද්ගලයෝ බොහෝ පිරිසක්‌ පොලිස්‌ අත්අඩංගුවට පත්වූහ. මෙවැනි ජාවාරම්කරුවන් කොතරම් නීතියේ රැහැනට නතුවුවද පාසල් ළමුන් ඉලක්‌ක කර ගනිමින් මත්ද්‍රව්‍ය විකුණන ජාවාරම් තවම නැවතී නැත. එය පෙරටත් වඩා සැරටම සිදු වෙමින් පවතී. එයට හොඳම උදාහරණය වනුයේ පසුගිය දිනක අතුරුගිරිය මහාමාත්‍ය විදුහල අසල පෙට්‌ටි කඩයක්‌ තුළ මනස විකෘති වන මත්පෙති වර්ගයක්‌ පාසල් සිසුන්ට විකිණීමට සූදානම් කර සිටියදී පොලිස්‌ අත්අඩංගුවට පත් වූයේ කාන්තාවක්‌ සමගය. කතාව සැකවින් මෙසේය.

අතුරුගිරිය ප්‍රදේශයේ පිහිටා ඇති පාසල් අතරින් මහාමාත්‍ය විදුහලට හිමිවන්නේ ප්‍රමුඛ ස්‌ථානයකි. එයට ප්‍රධානම හේතුව වනුයේ එම පාසලේ විදුහල්පතිවරයා ඇතුළු කාර්ය මණ්‌ඩලය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු සහ විනය පිළිබඳව දක්‌වන උනන්දුව නිසාය.

ශිෂ්‍යයන් පිළිබඳ අවධානයෙන් සිටින ගුරු භවතුන්හට පසුගිය දිනක එම විදුහලේ සිසුන් පිරිසක්‌ අස්‌වාභාවික ලෙස හැසිරෙමින් සිටිනු දැක ගන්නට ලැබී ඇත. ඉන් සමහරක්‌ සිසුන් මනස විකෘති වූ පුද්ගලයන් හැසිරෙන ආකාරයටත්, තවත් සිසුන් පිරිසක්‌ ඉතාමත් අසංවර ලෙසත් හැසිරී ඇත. වහාම මේ පිළිබඳව සොයා බැලූ එම ගුරු භවතුන්ට දැන ගන්නට ලැබී ඇත්තේ එම සිසුන් යම්කිසි මත්පෙති වර්ගයක්‌ භාවිත කර ඇති බවයි.

විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරුන් කිහිප දෙනෙක්‌ එම අවස්‌ථාවේදීම අදාළ සිසුන්ගෙන් මත්පෙති ලබාගත්තේ කෙසේදැයි ප්‍රශ්න කර තිබුණි. ඉන්පසු එම සිසුන් මත්පෙති ලබාගත් ස්‌ථානය පිළිබඳව සියලු තොරතුරු පවසා තිබුණි. පාසල් සිසුන්ට මත්පෙති විකුණා තිබුණේ මහාමාන්‍ය පාසල අසල පෙට්‌ටි කඩයක්‌ පවත්වාගෙන ගිය වයස අවුරුදු 70 ක්‌ පමණ වයසැති කාන්තාවක්‌ විසිනි.

ලැබී තිබූ තොරතුරු මත මහාමාත්‍ය මහ විදුහල්පති කේ. එච්. ඒ. ජයසුන්දර මහතා අතුරුගිරිය පොලිසියට මේ පිළිබඳව දැනුම් දුන්නේය. එම පුවත ඇසීමෙන් පසු වහාම ක්‍රියාත්මක වූ අතුරුගිරිය පොලිසියේ නිලධාරීන් කණ්‌ඩායමක්‌ එම විදුහලට තදාසන්න ස්‌ථාන කිහිපයක්‌ හදිසියේම වැටලූහ. එම අවස්‌ථාවේදී පාසල් සිසුන්ට මත්ද්‍රව්‍ය අඩංගු මත්පෙති විකුණූ කාන්තාවගේ පෙට්‌ටි කඩය තුළ තිබී මත්පෙති පුරවන ලද බෝතල් 17 ක්‌ සොයා ගැනීමට එම නිලධාරීන්ට හැකි විය.

වහාම ක්‍රියාත්මක වූ පොලිස්‌ නිලධාරීන් මත්පෙති පුරවන ලද බෝතල් සමග එම කාන්තාව අත්අඩංගුවට ගත්තේය.

සැකකටයුතු මෙම කාන්තාව අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ පදිංචිකාරියකි. ඇය නමින් ලොරෙන්සු හේවගේ පියවතීය. වැඩිදුර ප්‍රශ්න කිරීමේදී සැකකටයුතු කාන්තාව පවසා ඇත්තේ මෙම මත්පෙති වර්ගය කොළඹ පිටකොටුවේ ස්‌ථානයකින් ගෙන්වා ගෙන පාසල් සිසුන්ට අඩු මිලට අලෙවි කළ බවයි.

දුඹුරු පාට චොකලට්‌ පැහැති මෙම මත්පෙති වර්ගය රතුපාට කුඩා බෝතල්වල අහුරා තිබුණි. මෙම මත්පෙති භාවිත කිරීමේදී මනස විකෘති වී අසංවර ලෙස හැසිරෙන බවත් රටපුරා පාසල් සිසුන් මතට හුරු කරන එක්‌තරා සංවිධානාත්මක කණ්‌ඩායමක්‌ මගින් මෙම මත්පෙති බෙදා හරින බවටත් තොරතුරු අනාවරණය වී තිබේ.

සැකකටයුතු පෙට්‌ටි කඩය සෝදිසියට ලක්‌ කිරීමේදී චොකලට්‌ පැහැති පෙති අඩංගු රතුපාට බෝතල් 17 ක්‌ සොයා ගැනීමට හැකි වූ බවත් ඒවායේ හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය හා රසකාරක අඩංගු බවත් මෙම මත්පෙති භාවිත කිරීමේදී පාසල් සිසුන්ගේ මනස විකෘති වී අසංවරව හැසිරෙන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කළ අතුරුගිරිය පොලිසියේ නඩු කටයුතු පිළිබඳ පොලිස්‌ නිලධාරියා ප්‍රකාශ කර තිබුණි.

තවද මෙම පෙති වර්ගය කොළඹ පිටකොටුවේ ස්‌ථානයකින් ගෙන්වා පාසල් සිසුන්ට අඩු මිලට අලෙවි කරන බවට සැකකාර කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බව කියා සිටි එම නිලධාරියා සැකකාරිය සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදු කරගෙන යන නිසා ඇයට ඇප ලබා නොදෙන ලෙසද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සැකකාර කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පැවැසුවේ තම සේවාදායිකා සැකකාරිය මේවා සාමාන්‍ය ටොµs වර්ගයක්‌ ලෙසට මිලට ගෙන අලෙවි කළ බවත්, ඒවා තුළ මත්ද්‍රව්‍ය අඩංගු බවට ඇයට දැනුවත්කමක්‌ නොතිබුණු බවත්ය. මෙම පෙති සම්බන්ධයෙන් රජයේ රස පරීක්‍ෂකවරයාගෙන් විශ්ලේෂණ වාර්තාවක්‌ ලැබෙනතුරු ඇයට එරෙහිව චෝදනා ගොනු කළ නොහැකි බවද පෙන්වා දෙමින් සැකකාරියට ඇප ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළ මහෙස්‌ත්‍රාත්වරයා අදාළ රස පරීක්‍ෂක වාර්තාව ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසියට නියෝග කළ අතර සැකකාරිය අගෝස්‌තු මස 07 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.

මුදල්වලට ඇති දැඩි තණ්‌හාව නිසා රටේ අනාගතය භාර ගැනීමට සිටිනා මෙවැනි දරුවන්ට මත්පෙති විකුණූ මෙම ගැහැනියට ලබාදිය යුත්තේ රජකාලේ දඬුවම්ය. නැතිනම් තව නොබෝ දිනකින් සමාජයට යළි පැමිණෙන මෙම කාන්තාව නැවතත් සුපුරුදු ලෙස පාසල් සිසුන්ට මත්පෙති විකුණා රටේ අනාගතය භාර ගැනීමට සිටිනා දරුවන්ගේ මනස විකෘති කර රටේ අනාගතයද විනාශ කර දැමීමට බැරි නැත.

පාසල් සිසු සිසුවියන්ද අධිෂ්ඨාන කරගත යුතු වැදගත් කරුණක්‌ තිබේ. එනම් පාසල් අධ්‍යාපනය හදාරන කාල සීමාව තුළ මෙවැනි සමාජ විරෝධී ක්‍රියාකාරකම්වල නිරත නොවී හොඳින් අධ්‍යාපනය හදාරා සමාජයට වැඩදායී පුද්ගලයකු ලෙස පාසලෙන් පිටව යැමයි.

ගයාන් සමරසිංහ