Fri. Jul 5th, 2024
Spread the News
Picture Courtesy tvtropes.org

පරිසරය ගැන කතා කරන විට, ඊට සම්බන්ධ සෑම අංශයක් කෙරෙහිම අවධානය යොමු විය යුතුයි.

සමහර දෙනෙක් පරිසරය කියා හිතන්නේ ගහකොළ සහ සතුන්. සමහර අය අහස, ගංගා ඇළ දොළ වැව් හා මුහුද පරිසරය ලෙස ගෙන එහි ඇතිවන වෙනස්කම් ගැන කතා කරනවා.

අප ජීවත් වන සමාජයද පරිසරයක් ලෙස සංජානනය කිරීමට බොහෝදෙනෙක් මැළි වෙනවා. එය නොදන්නාකම නිසා පැන නැගුණු ප්‍රශ්නයක් බව අවිවාදාත්මකයි.

මිනිසුන් ගැන කතා කරලා හොඳටම ඇති වෙලා කියා සිතන සමහර අය සමාජ කතිකාව පසෙකලා ගහකොළ වතුපිටි, ජලාශ ගැන පමණක් කථා කරන්නට පෙළඹී සිටිනවා.

හිතාමතාම නොවුනත් ඔවුන් අමතක කරන වැදගත් සාධකයක් ඒ තුළින් යටපත් වෙනවා.

අතීතයේ දී පමණක් නොව වර්තමානයේ පවා ඇතැමුන් සිතන්නේ පෘථිවිය විශ්වයේ කේන්ද්‍රය බවත්, මේ නිසා එහි වැදගත්ම ප්‍රපංචය මිනිසා කියායි.

ඊට සමාන අදහසක් උතුරු කොරියාවේ නිර්මාතෘ හා එහි ප්‍රථම කොමියුනිස්ට් පාලකයා වූ කිම් ඉල් සුං ටත් තිබුණා. ඒ දර්ශනය උතුරු කොරියානු ජනතාව විසින් හැඳින්වූයේ “Juche” කියායි. එය ජාතියේ දර්ශනය මෙන්ම වැඩකරන ජනතාවගේ පක්ෂයේ දේශපාලන න්‍යාය ද වූවා.
Juche දර්ශනය මාක්ස් ලෙනින් වාදයෙන් එක්තරා දුරකට අපගමනය වීමක් ලෙසත් ඇතැම් විචාරකයින් පෙන්වා දෙනවා.

මිනිසා විශ්වයේ විශිෂ්ටම ජීවියා ලෙස ඇතැමුන් පිළිගන්නේ පීතෘ ප්‍රබුද්ධ වාදය පිළිගන්නා ආකාරයටමයි.

පීතෘ ප්‍රබුත්ව වාදය කාලයත් සමග වෙනස් වෙමින් පවතින සංසිද්ධියක් බවට පත්වී ඇත්තාක් මෙන් ම මානව කේන්ද්‍රීය සංකල්පය ද ජීවියාගේ සම්භවය හා පරිණාමය සමග අභියෝගයට ලක්වෙමින් පවතිනවා.

මිනිසාගේම වරදින් පරිසරය විනාශ වුණහොත් මිනිසාට පමණක් නොව ගහකොළ හා සතා සිවුපාවාට අත්වන ඉරණම ගැන ද දැන් දැන් ලෝක ප්‍රජාව ගේ අවධානය යොමු වෙමින් පවතිනවා.

අවසාන නිගමනයකට එලඹීම කෙසේ වෙතත්, ඉතාමත් අපරික්ෂාකාරී අන්දමින් පස, ජලය හා වාතය අපවිත්‍ර කිරීමේ අමනෝඥ ක්‍රියාවලියේ මිනිසා නිරත වුවහොත් මේ මහ පොළොව මිනිසාට අහිමි වන දිනය වැඩි ඈතක නොවෙයි.

අනාරක්ෂිත බවින් මිදුනු නව ලෝකයක් නිර්මාණය කිරීමේදී, ගෝලීය වශයෙන් මිහිපිට වසන සෑම මනුෂ්‍යයකු සතු වගකීම හා යුතුකම වන්නේ ” අප පරිසරය රකිනවා නොව, පරිසරය විසින් අපව ජීවත් කරන බව” කෘතඥතා පූර්වකව නිරන්තරවම මෙනෙහි කිරීමයි.

(මහාචාර්ය එඩ්වර්ඩ් එම් පෙරේරා)

26.04.2023