Spread the News

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා කළ ප්‍රකාශයක් නිසා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතාගේ ජීවිතය තර්ජනයට ලක්ව ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද  (23)පැවසීය.

ඡන්දයෙන් ගනුදෙනුව බේරාගන්නා බවත් රට පනින්න ඉඩ නොදෙන අතර  හැංගෙන්නට ඉඩක් නොලැබෙන්නේ යැයි වසන්ත සමරසිංහ මහතා කළ තර්ජනය සමාජ මාධ්‍යයෙහි සැරිසරන බව කී ගුණවර්ධන මහතා හඩ්ඩලාට නවතින්න වන්නේ හඳේ තමයි යනුවෙන්ද ඔහු සඳහන් කර ඇතැයි කීය.

ඡන්දයෙන් පසුව රට පැන්නොත් එම රටවල වැඩිපුර සිටින්නේ මාලිමාවේ නියෝජිතයෙන් බැවින් ඔවුන් ඒ ගැන බලාගනු ඇතැයිද වසන්ත සමරසිංහ මහතා කියා ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

සාධාරණ හා නිදහස් මැතිවරණයක් පැවැත්වීම සඳහා  මෙවැනි තර්ජන නතර කරන ලෙස ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලා සිටින බවත්  මාධ්‍යකරුවකුට තර්ජනයක් තිබේ නම් අපරාධ  පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ගොස් පැමිණිල්ලක් කළ විට ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව ලබාදෙන බවත් බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ප්‍රචණ්ඩත්වයෙන් තොර ජනාධිපතිවරණ ව්‍යාපාරයක් සඳහා කටයුතු කරමු යැයි යෝජනා කරන බව ද අමාත්‍යවරයා කීය.

Source: Lankadeepa