ජය මහින්දට – පොහොට්‌ටුව ආයතන 239ක

Spread the News

p1 1

නව මැතිවරණ ක්‍රමයක්‌ යටතේ පැවැති පළමු පළාත් පාලන මැතිවරණයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ ආශිර්වාදයෙන් හා මූලිකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අති විශිෂ්ට ජයග්‍රහණයක්‌ හිමි කර ගනු ලැබීය.

පත්‍රය මුද්‍රණයට යන මොහොත වනවිට පළාත් පාලන ආයතන 340 න් 239 ක බලය හිමිකර ගැනීමට පොදුජන පෙරමුණ සමත්විය. දිස්‌ත්‍රික්‌ක 24 න් 19 ක බහුතරයක බලය එම පක්‌ෂයට හිමි විය.

වත්මන් ආණ්‌ඩුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු එක්‌සත් ජාතික පක්‌ෂය මැතිවරණයෙන් පරාජයට පත්විය.

එක්‌සත් ජාතික පක්‌ෂයට හිsමි වූයේ පළාත් පාලන ආයතන 36 ක්‌ පමණි. එමෙන්ම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය හා එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට හිමි වූයේ ආයතන 10 ක්‌ පමණි. දෙමළ ජාතික සන්ධානයට උතුරු හා නැගෙනහිර පළාත් පාලන ආයතන 27 ක්‌ද ලංකා කම්කරු කොංග්‍රසයට ආසන 05 ක්‌ද හිමි වී ඇත.

ඊයේ පැවැති ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද හතළිස්‌ හත් ලක්‌ෂයක්‌ පමණ හිමිකරගෙන තිබූ අතර එක්‌සත් ජාතික පක්‌ෂයට ඡන්ද තිස්‌ හතර ලක්‌ෂයක්‌ පමණ හිමිවී තිබිණි.

කොළඹ දිස්‌ත්‍රික්‌කයේ ආයතන 10 ක්‌ පොදුජන පෙරමුණටත් කොළඹ, දෙහිවල – ගල්කිස්‌ස මහ නගර සභා එජාපයටත් හිමිවිය. ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ආයතන 17 ක ජය පොදු ජන පෙරමුණටත් 02 ක ජය එජාපයටත් හිමි විය. කළුතර දිස්‌ත්‍රික්‌කයේ ආයතන 13 ක්‌ පොදුජන පෙරමුණටත් 03 ක්‌ එජාපයටත් එක්‌ ස්‌වාධීන කණ්‌ඩායමකටත් හිමිවිය. කෑගල්ල හා රත්නපුර දිස්‌ත්‍රික්‌කවල සියලු පළාත් පාලන ආයතන පොදුජන පෙරමුණට හිමිවීම විශේෂත්වයකි.

එමෙන්ම මහනුවර දිස්‌ත්‍රික්‌කයේ ආයතන 17 ක ජය පොදුජන පෙරමුණට හිමි විය. එජාපයටද 05 ක්‌ හිමිවිය. කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ කුලියාපිටිය ප්‍රාදේශීය සභාව එජාපය දිනා ගනිද්දී ඉතිරි ආයතන 20 ම පොදුජන පෙරමුණට හිමිවිය.

මාතලේ දිස්‌ත්‍රික්‌කයද ආයතන 21 න් 20 ක්‌ පොදුජන පෙරමුණට හිමිවිය. මාතර දිස්‌ත්‍රික්‌කයේ එක්‌ ආයතනයක්‌ හා හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ එක්‌ ආයතනයක්‌ හැර සෙසු සියල්ලේම ජයද පොදුජන පෙරමුණට හිමිවිය.

මේ අතර පොදුජන පෙරමුණේ නාම යෝජනා ප්‍රතික්‍ෂේප වූ මහරගම මහ නගර සභාව හා තිරප්පනේ ප්‍රාදේශීය සභාව එම පෙරමුණේ සහාය ලැබූ කණ්‌ඩායම්ද විශිෂ්ට ජයග්‍රහණ හිමිකර ගත්තේය.

කඩුවෙල මහ නගර සභාවේ අඛණ්‌ඩව නගරාධිපති ලෙස කටයුතු කළ ජී.එච්. බුද්ධදාස මහතා මෙවර සිය කොට්‌ඨාසයෙන්ද පරාජයට පත්වී ඇත. එමෙන්ම හිටපු ඇමැතිවරුන් වන ගුණරත්න වීරකෝන් හා මිල්රෝයි ප්‍රනාන්දු යන මහත්වරුන් පළාත් පාලන මැතිවරණයට තරග කළද පරාජයට පත්ව ඇත. ඌව පළාත් මහ ඇමැති චාමර දසනායක මහතාගේ බිරිඳ අපේක්‌ෂකත්වය දැරූ කොට්‌ඨාසද පරාජයට පත්ව තිබේ.

ඡන්ද ප්‍රකාශ කිරීම සමස්‌තයක්‌ ලෙස සාමකාමීව සිදුවූ අතර සවස 4.30 ට පමණ එම කොට්‌ඨාසවලම ඡන්ද ගණන් කිරීම සිදුවිය. කොට්‌ඨාසවල ඡන්ද ගණන් කිරීම නිසා කලින් ප්‍රතිඵල ප්‍රකාශවනු ඇතැයි ජනතාව බලාපොරොත්තු වුවද පළමු ප්‍රතිඵලය ප්‍රකාශයට පත් වන විට පෙරේදා මධ්‍යම රාත්‍රියද පසුවී තිsබිණි. ඊයේ අලුයම වනවිට ප්‍රකාශයට පත්ව තිබුණේ ආයතන 05 ක ප්‍රතිඵල පමණි. ඊයේ රාත්‍රිය වනවිටත් ප්‍රතිඵල නිකුත් වෙමින් පැවතුණි.

රනිල් ධර්මසේන