Spread the News

සේයා ඝාතකයා
සියලු වැරදි පිළිගනී
නඩු විභාගය ජනවාරි 25 දා ඇරැඹේ

මීගමුව සමූහ – විමල් කීර්ති

කොටදෙණියාව බඩල්ගම අකරංගහ පදිංචිව සිටි 5 හැවිරිදි සේයා සදෙව්මි දැරිය පැහැරගෙන ගොස්‌ දූෂණය කර මරා දැමීම සම්බන්ධයෙන් අධි චෝදනා ලැබූ අකරංගහ පදිංචි ඉලන්දාරිපේඩිගේ සමන් ජයලත් නමැත්තා බස්‌නාහිර පළාත්බද මීගමුව මහාධිකරණ විනිසුරු එන්. වී. කරුණාතිලක මහතා හමුවේ චෝදනා සියල්ලටම වරදකරු බව ප්‍රකාශ කළේය.

විත්තිකරු වරද පිළිගත්තේ ඔහුට එරෙහිව නඩු පවරා අධිචෝදනා භාරදීම සඳහා එම නඩුව ඊයේ (23 දා) මීගමුව මහාධිකරණය හමුවේ කැඳවූ අවස්‌ථාවේදීය. මෙම නඩු විභාගය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මෙනවිය සහ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්‌ඩාර සහ රජයේ අධිනීතිඥ ෂෙහාන් ද සිල්වා යන මහත්වරුන් රජය මගින් විශේෂයෙන් පත්කොට ඇත.

2015 සැප්තැම්බර් 11 වැනිදා සිය නිවසේ නින්දේ පසු වූ සේයා සදෙව්මි දැරිය භාරකාරත්වයෙන් පැහැරගෙන යැම, බරපතළ සහ මානුෂික ලිංගික අතවරයකට ලක්‌කිරීම, දූෂණය කිරීම සහ පසුව ඇය ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඉලන්දාරිපේඩිගේ සමන් ජයලත් නමැත්තා අධි චෝදනා ලබා ඇත.

දෙමාපිය භාරකාරත්වයෙන් පැහැරගෙන යැම, බරපතළ ලිංගික අපයෝජනයට ලක්‌කිරීම, දූෂණය කිරීම සම්බන්ධයෙන් පමණක්‌ විත්තිකරු වරද පිළිගැනීම අධිකරණය පිළිගත් අතර මහාධිකරණ නීතිය අනුව මිනීමැරීමේ චෝදනාවට නඩු විභාගයක්‌ පැවැත්වීමට අධිකරණය විසින් තීරණය කරන ලදී. එම නඩුව ජූරි සභාවක්‌ නොමැතිව පැවැත්වීමට විත්තිකරු එකඟ විය.

මෙම නඩුවේ විත්තිය වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥ චතුර අමරතුංග මහතා අධිකරණය මගින් පත්කරන ලදී.

සැප්තැම්බර් 11 වැනිදා සේයා සදෙව්මි දැරිය පැහැරගැනීමට ලක්‌වූ අතර සැප්තැම්බර් 13 වැනිදා ඇගේ සිරුර හමු විය.

ඉන් අනතුරුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඉලන්දාරි පේඩිගේ සමන් ජයලත් නමැත්තා අත්අඩංගුවට ගත් අතර එම සිද්ධියේදී සොයාගත් ශුක්‍රාණු ඔහු පිළිබඳව පැවැති ඩී. එන්. ඒ. වාර්තාව හා සැසඳුණි.

මෙහිදී එම සිද්ධියට අදාළ පරිගණක සාක්‍ෂි සඳහා පරිගණක සංයුක්‌ත තැටියක්‌ සාක්‍ෂි වශයෙන් අධිකරණය වෙත භාරදෙන ලදී. නඩු විභාගය 2016 ජනවාරි මස 25 දා ආරම්භ වේ. එහිදී ඇතිවන තත්ත්වය අනුව එම නඩුව දිනපතා විභාග කිරීම පිළිබඳව සළකා බැලීමට අධිකරණය තීරණය කරන ලදී.