සිවුරු ඇඳ ගත් බට්ටෝ

Spread the News

සිවුර යන සිංහල වදන, චීවර යන පාලි වචනයෙන් බිදී ආවකි. සිවුර ගැන විස්තර වනුයේ සම්බුදධ ශාසනය තුල ය. චීවරයෙන් තොරව සම්බුදු සසුන නො පැවැතිය හැක. මහ බෝසතාණෝ ඝටීකාර මහ බඹුහු විසින් දෙන ලද අටපිරිකරෙහි වූ සිවුරු ගෙන හැඳ පෙරව, පැවිදි බවට පත් වූහ. බුදු රදාණෝ පිරිනිවන් පා වදාරණ තෙක් බුද්ධ චීවරය දරණ ලදහ.
සියලු භික්ෂූන් වහන්සේලාගේ මහණ දිවිය පවතින්නේ ද චීවරය උපයෝගී කොට ගෙන ය. ශාරිපුත්ත මොග්ගල්ලාන අග්‍ර ශ්‍රාවක මහ අරතුන් වහන්සේලා පටන් සියලු සිව් පිළිසිඹියා පත් මහ අරහතුන් වහන්සේලාට ද ඒහි භික්ෂු භාවයෙන් පැවිදි වූ සියලු භික්ෂූන් වහන්සේලාට ද අන් සියලු මඟ පල ලාභී භික්ෂූන් වහන්සේලා සහ කල්‍යාණ පෘතජ්ජන සියලු භික්ෂූන් වහන්සේලාට ද පැවිදි බිමට පත් වීමට සහ පැවිදි දිවිය පැවැත්වීමට උපකාර වූයේ චීවරය හෙවත් සිවුර ය. එබැවින් සිවුරට අර්හත් ධජය යයි කියනු ලැබේ. මේ අරහත්ද්වජය හෙවත්
සිවුර පිළිබඳව මනා කොට විවරණය කොට ඇත්තේ, විනය පිටකයේ මහා වග්ග පාලියේ චීවරක්ඛන්ධකයේ ය.
බුදු සසුනේ මූලාරම්භය, සිවුරු පෙරවීමෙන් ආරම්භ වේ. එබැවින් චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානපත්‍යය යන සිව් පසයෙහි මුලටම ඇත්තේ චීවර ය. මහා සංඝ රත්තනය උදෙසා පූජා කරන කඨින පූජාවට ද උපයෝගී වන්නේ චීවරය ය. චීවර නැතිව කඨින පින් කම් නො කළ හැකි ය.
වත්මන් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ දී කළ කථාවකදී “සිවුරු ඇඳ ගත් බට්ටෝ” යන වචන ප්‍රකාශ කරමින් කථා කරන ලදී. සිවුර හෙවත් චීවරය සම්බුදු සසුනට අයිති බුදු සසුනේ පැවිද්දට ම අනන්‍යය වූ වස්තුවකි. සිවුරු ගැන මිස, සිවුරු ඇඳ ගත් බට්ටෝ යන ලෙස හෝ සිවුරට අදාලව බට්ටෝ යන වචනය සම්බන්ධ වන ලෙස හෝ ත්‍රිපිටකයේ කිසිදු තැනක බුදු රදුන් විසින් වදාරා නැත. අටුවාවක, ටීකාවක ද විස්තර කර නැත.
බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන බව සහ බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම ශ්‍රී ලංකා ජනරජයේ වගකීම විය යුතු බව ආණ්ඩුක්‍රම ව්‍ය්වස්ථාවේ 9 වෙනි ව්‍යවස්ථාවෙන් ලක් රජය පිළිගෙන තිබෙන බැවින් ” සිවුරු ඇඳ ගත් බට්ටෝ” යන ජනාධිපතිවරයාගේ වචනය කුමන අර්ථයක් ප්‍රකාශ වන්නේ ද යන්න ලෝක වාසී සියලු බෞද්ධ ගිහි පැවිදි දෙපිරිසට ම දැන ගැනීම යුක්ති යුක්ත ය. ජනාධිපතිවරයාගේ කථාව පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්ථා ගත බැවින් සිවුර නැමැති අර්හත්ද්වජයට “බට්ටෝ” යන්න සම්බන්ධ වන විධිය දන්නා කවුරුන් විසින් හෝ ඒ පිළිබඳව දැනුවත් කරන මෙන් ඇරයුම් කරමු.

– ආරියතිලක