Breaking
Sat. Sep 14th, 2024

ශ්‍රී ලංකාව තුළ ඉතාමත් ප්‍රබල අන්දමින් කටයුතු කරන විදේශීය බලවේග

Spread the News
PHOTO BY AUTHOR

නූගත්කමයි නොදන්නාකමයි දෙකම එකක් නොවෙයි. මම එහෙම කියන්නේ, ලංකාව ඇතුළුව ලෝකයේ විවිධ රටවල්වල මට හමුවූ උගතුන් අතර ලංකාවේ උගතුන්තරම් නොදන්නා පිරිසක් ලෝකයේ කොහේවත් හමුවී නැති නිසයි.

ලංකාවේ ඊනියා උගතුන් තමන්ගේ සුදුසුකම් රෝල්කර ඔතාගත් කඩදාසියකට සීමා කරගෙන, යන යන තැන ප්‍රදර්ශනය කරමින් සුවිශේෂ ගණයේ පුද්ගලයින් මෙන් සමාජයේ කැපී පෙනෙන්න උත්සාහ කරනවා.

අපගේ නිරීක්ෂණවලට අනුව මේ තත්ත්වය උදා වී ඇත්තේ 8 පමණක් සමත් වූ දේශපාලකයන් රටේ පාලනය තම අතට ගත් දා සිටයි. ආචාර්ය මහාචාර්යවරු පවා 8 සමත් නිවට දේශපාලකයින්ට “සර්” කියා දෙකට තුනට නැවී ගරු බුහුමන් කරන්න පුරුදු පුහුණු වීම තුළින් මෙතෙක් කල් ජාත්‍යන්තරයෙහි ශ්‍රී ලාංකික සමාජයට තිබුණු ගෞරවය හා පිළිගැනීම බලා සිටියදීම අහෝසි වුණා.

දේශීය වශයෙන් ගත් කළ සැබෑ උගතුන්ට පමණක් නොව බුද්ධිමතුන්ටත් නිර්දය අන්දමින් ගැරහීම ඇරඹුණේත් මෙම අනිසි සමාජ විපර්යාසයේ ඍජු ප්‍රතිඵලයක් ලෙසයි.

සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික සමාජයේ බුද්ධිමතුන්ට තිබුණු පිළිගැනීම ඔවුන්ගෙන් උදුරා ගනු ලැබුවේ බුද්ධිමතුන්ට ගැරහීම හා අපහාස කිරීම තුළින්. මේ ගැරහීම එතැනින් නතර නොවී ලොව මෙතෙක් පහළ වූ ශ්‍රේෂ්ඨතම බුද්ධිමතා වන ගෞතම බුදුන් වහන්සේටත් අභියෝග කරන්න අපහාස කරන්න වත්මන් තරුණ පරපුරේ දේශපාලන බැලයන් එඩිතර වුණා.

ඊට එක් ප්‍රබල උදාහරණයක් නම්, ශ්‍රී ලංකාවේ බලවත් මාධ්‍ය ආයතනයක හිමිකරු මෙන්ම ඔහුගේ සමීපතම අනුගාමිකයෙකුද ප්‍රසිද්ධියේම කීවේ “සිද්ධාර්ථ බුදු වූයේ ආතල් එකක් ගැනීම නිසා” කියායි.

ශ්‍රී ලංකාව තුළ ඉතාමත් ප්‍රබල අන්දමින් කටයුතු කරන විදේශීය බලවේග වල ආධාර හා උපදේශ මත සක්‍රීයවම ක්‍රියාත්මක වී සිටින බෞද්ධ විරෝධී බලවේග සෘජුව හෝ වක්‍ර මාර්ගයෙන් ඔවුන්ගේ න්‍යාය පත්‍රයන් රට තුළ දිග හරිමින් සිටිනවා.

අවාසනාවකට මෙන් මෙතෙක් බලයට පත්වූ බොහෝ ආණ්ඩු මෙම කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙල වල් වලට දිගින් දිගටම සහාය ලබාදීම නිසා දිවයිනේ බෞද්ධ ශිෂ්ටාචාරයට දැඩි ලෙස හානි පැමිණුනා.

ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලනය යනු මෙම දෙස් විදෙස් කුමන්ත්‍රණ කාරී වැඩපිළිවෙලේ කූට ප්‍රාප්තියක්.

ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ සටන පවතින්නේ ශිෂ්ට සම්පන්න මිනිසුන් හා අපරාධකාරී මිනිසුන් අතර නොව, අපරාධකාරයින් හා අපරාධකාරයින් අතරයි.

අසරණ වූ ඡන්දදායකයින්ට වෙන විකල්පයක් ඉතිරි කර නැත. බුද්ධියට පෑල දොරින් පළායාමට පමණක් අවසර දී ඇත. නූගත් උගතුන් එසේත් නැතිනම් උගත් නූගතුන් පාලනය පමණක් නොව විරුද්ධ පක්ෂයත් තමන් අතට ගෙන ඇත.

කසාදයේදී මනමාළයාට ඉතුරු වී ඇති විකල්පය විවාහ වන්නේ “කැහි ගැහැණිය” සමගද නැතිනම්
“හොටු ගැහැණිය” සමඟ ද යන්න පමණයි.

අද දිනයේ ඡන්ද දායකයා ඉදිරියේ ඇති බලවත්ම අභියෝගය නූගත් උගතුන්ගේ හඬට කන් දීම නොව සැබෑ බුද්ධිමතුන් සද්භාවයෙන් ඉදිරිපත් කරන රට දියුණු කිරීමේ වැඩපිළිවෙලට සහයෝගය දීමයි.

ඒ සඳහා දැනට මොළයේ ඉතිරිවී තිබෙන බුද්ධියෙන් අංශුමාත්‍රයක් හෝ භාවිතා කර “හොඳ” “නරකින්” වෙන්කර ගැනීම අදම ආරම්භ කිරීමට දැඩි ලෙස අධිෂ්ඨානය කරගන්න.

(මහාචාර්ය එඩ්වර්ඩ් එම් පෙරේරා)

25.08.2024

Related Post