Spread the News
Picture Courtesy wallpaper flare

ශ්‍රී ලංකාවේ ඇති සියලුම සංස්කෘතීන් අභිබවා ඉදිරියට ඇවිත් තිබෙන්නේ කුමන්ත්‍රණ සංස්කෘතියයි.

එක්තරා යුගයක් තිබුණා කුමන්ත්‍රණකරුවන්ට ලංකා භූමියේ පල නොදරපු.

විවිධ දෙවිවරුන් සහ දිවි දෙවි දේවතාවුන් ගැන විශ්වාස කරන ශ්‍රී ලාංකිකයින් තවමත් තදින්ම විශ්වාස කරනවා ශ්‍රී ලංකාවට සතරවරම් දෙවිවරුන්ගේ ආරක්ෂාව තිබෙන බව.

1962 කතෝලික හමුදා ප්‍රධානීන් විසින් දියත් කළ කුමන්ත්‍රණය අසාර්ථක වීම හොඳම නිදසුනක් ලෙස සමහර විශ්ලේෂකයින් පවසනවා.

71 ඊනියා විප්ලවයත්, 88-89 රටේ පාලකයාගේ අවශ්‍යතාවයක් මත දියත්වුන සන්නද්ධ අරගලයත්, 2019දී ගෝඨාභයව බලයට පත් කිරීම මෙන්ම 2022 ගෝඨාභය බලයෙන් පහකිරීමට දියත් වුණු කුමන්ත්‍රණයත් ඇත්ත වශයෙන්ම කිවහොත් අසාර්ථක කුමන්ත්‍රණ වෙති.

කාදිනල් ට අනුව ගාලුමුවදොර “අරගලය” අසාර්ථක වී ඇත්තේ නූගතුන් ඊට මැදිහත් වීම නිසායි.

අරගල කරුවන් දැරුවේ ඊට හාත්පසින්ම විරුද්ධ මතයක්. එනම් අරගලය සාර්ථක බවයි.
නමුත් ඒ පිරිස පවා තවම වටහා ගෙන නැහැ සම්පූර්ණ අරගලයම රටේ ආර්ථිකය විනාශ කර සාමය බිඳ දමා මුළු රටම විනාශ කිරීමට කළ දැවැන්ත කුමන්ත්‍රණයක් බව.

කට බොරු කිව්වත් දිව බොරු නො කියන්නා සේ කාදිනල්ගේ කටින්ම කියවුනේ තමන් බලාපොරොත්තුවු ඉලක්කය වැරදුණ බවයි.

කැරලිකරුවන් විසින් යම්කිසි හෙයකින් ගෝඨාභය තමන්ගේ ග්‍රහණයට ගෙන මරා දැමුවේ නම් අරගලයේ සාර්ථක අසාර්ථක භාවය පිළිබඳ කාදිනල්ගේ විග්‍රහය පවා වෙනස් වීමට ඉඩ තිබුණා.
කුමන්ත්‍රණ මේ භූමියේ පලදෙන්නේ නැහැ කියන ජන විශ්වාසයට අප අභියෝග නොකරන්නේ, එම විශ්වාසයට කරන ගරු කිරීමක් වශයෙන් නොව මෙම භූමිය එවැනි ශක්ති විශේෂයන් විසින් ආරක්ෂා කර දී ඇති අන්දම ඉතිහාසය විසින්ම තහවුරු කර තිබීම නිසයි. එවැනි තත්ත්වයක් නිර්මාණය වීමට අවශ්‍ය කරන ආධ්‍යාත්මික පසුබිම බෞද්ධ සංස්කෘතිය මත පදනම් වූ බවට සාක්ෂි දරන්නේත් ඉතිහාසයම මයි.

මේ සම්බන්ධව අපගේ පෞද්ගලික මතය නම් රට රකින මෙම දෙවි දේවතාවුන් පුද්ගල විශේෂයක් නොව ජනතාව විසින් ආරක්ෂා කරගත් තමන්ගේ ආධ්‍යාත්මික ලක්ෂණයි.

“ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් රකී” යනුවෙන් බුදුන් වහන්සේ සරළව කියාදුන්නේ ඔය පාඩමයි.

මේ කියන දෙවි දේවතාවුන් පවා රට හැර ගොස් ඇති බවක් ඉච්චාභංගත්වයට පත් වූ පුද්ගලයින් පවසන කතාවේ සැබෑ අරුත නම් ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකු වෙතින් යහපත් ගුණධර්ම පලා යාමයි.
විශේෂයෙන්ම රටේ පාලක පිරිස් දිගින් දිගටම ජනතාවගේ යහපත් හැසිරීම් රටාව විනාශ කර දැමීමම රටේ අනාරක්ෂිතභාවය ට මූලික හේතුව වී ඇත.

ආධ්‍යාත්මික වශයෙන් පිරිහුණ ජනතාවක් පාලනය කරනු ලබන්නේ කෲර මිනිසුන් විසින්මයි. ජනතාව විසින් මුග්ධ අන්දමින් මෑත අතීතයේදී වපුරන ලද දේ අද දවසේ අස්වැන්න ලෙසින් නෙළා ගනිමින් සිටිති.

රට රකින බලවේග නැවත මෙහි සැපත්වීමට නම්, මිනිසුන්ගේ චේතනා පිරිසිදු විය යුතුමයි.

වෛරී දේශපාලනයට පොහොර දමන මානව විරෝධී දේශපාලනයට තිත තැබූ දිනක සකලවිධ කුමන්ත්‍රණකරුවන්ගේ සියලුම බල බිඳෙනු ඇත.

මෙය අපගේ අනාවැකියක් නොව භූමියේ යථාර්ථය නැවත මතක් කර දීමකි.

– එඩ්වර්ඩ් –
17.04.2023