රාගම දේවාලයේ කපු මහතාට මොකද වුනේ දෙවියන්ටත් හොරෙන් අරගෙන ගිය ලොකු සීයා

Spread the News

රාගම දේවාලයේ කපු මහතාට මොකද වුනේ
දෙවියන්ටත් හොරෙන් අරගෙන ගිය ලොකු සීයා

source:


රාගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක්‌ පවත්වාගෙන යමින් විශ්වකර්ම වැඩ කළ ලොකු සීයා කෲර අන්දමින් ඝාතනය කර සිරුර අක්‌කරේපත්තුව මුහුදේ ගිල්වා තිබියදී පොලිසිය මගින් සොයාගත් පුවතින් මුළු රටම ගිනි ගත්තේය.

පසුගිය කාලය පුරාවට නාඳුනන සන්නද්ධ කණ්‌ඩායම් විසින් පැහැරගත් පුද්ගලයන් කිසිවකු පිළිබඳ තොරතුරක්‌ ලැබුණේ නැත. අඩුම තරමින් අතුරුදන් වූවන්ගේ මළ සිරුර පවා හමුවුණේ නැත.

අතුරුදන්වු ලොකු සීයාගේ සිරුර මුහුදේ ගිල්ලවා තිබියදී එය ගොඩට ගසාගෙන ඒම නිසා ලොකු සීයාට අත් වූ ඉරණම මුළු රටටම හෙළි විය.

පසුගිය 05 වැනිදා අක්‌කරේපත්තුව පොලිසිය වෙත ප්‍රදේශවාසියකුගෙන් තොරතුරක්‌ ලැබී තිබිණි. ඉන් කියෑවුණේ මළ සිරුරක්‌ අක්‌කරේපත්තුව මුහුදු වෙරළට ගොඩගසා ඇති බවයි.

තොරතුරු සැලවූ වහාම අක්‌කරේපත්තුව සහකාර පොලිස්‌ අධිකාරි ඉන්දික සිල්වා මහතා පොලිස්‌ කණ්‌ඩායමක්‌ සමග එම ස්‌ථානයට ගොස්‌ පරීක්‍ෂණ ආරම්භ කළහ.

පොලිතින් බෑගයක දමා කටුකම්බිවලින් ගැටගසා තිබූ සිරුර කාගේ කවුදැයි හඳුනා ගැනීමට නොහැකි විය. සිරුරට විශාල ගලක්‌ බැඳ එය මුහුදේ ගිල්ලවා දැමුවද එම ගල ගැලවීම නිසා සිරුර වෙරළට ගොඩගසාගෙන විත් තිබිණි.

පොලිසිය නාඳුනන මළ සිරුර අක්‌කරේපත්තුව රෝහලේ මෘත ශරීරාගාරය වෙත භාරදී එය හඳුනා ගැනීමට මහජන සහාය පැතූහ.

පොලිස්‌ මූලස්‌ථානයේ මහජන සම්බන්ධතා අංශය වෙත නාඳුනන පුද්ගලයාගේ ඡායාරූප යෑවීමට කටයුතු කළ අක්‌කරේපත්තුව පොලිසිය එය මාධ්‍යවල පළකරනු ලැබුවේ මෙම පුද්ගලයා හඳුනා ගැනීමටය.

එහෙත් මියගොස්‌ සිටි පුද්ගලයා කාගේ කවුදැයි හඳුනා ගැනීමට හැකි වූයේ නැත.

ආරෝහපරිනාහ දේහයක්‌ ඇති මෙම නාඳුනන පුද්ගලයා කෲර වධ හිංසා පමුණුවා මරාදමා ඇති බව මූලික පරීක්‍ෂණවලදී අනාවරණය විය. ඔහුගේ ගෙල සිරකර උදරය ප්‍රදේශය තියුණු ආයුධවලින් කපා දමා තිබිණි.

පසුව සිරුර පොලිතින් බෑගයක දමා එය කටුකම්බිවලින් ගැටගසා ගලක්‌ බැඳ මහ මුහුදේ ගිල්ලවා තිබිණි. මෙම නාඳුනන මළ සිරුර දින 18 කට ආසන්න කාලයක්‌ අක්‌කරේපත්තුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබුණේ සිරුර කිසිවකු හඳුනා නොගත් නිසාය.

අතුරුදන්වූ ලොකු සීයාගේ පුත්‍රයා පොඩි සීයා ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටියේය. නාඳුනන පුද්ගලයකුගේ මළ සිරුරක්‌ අක්‌කරේපත්තුව වෙරළට ගොඩගසා ආ පුවත පොඩි සීයාට දැනගැනීමට ලැබුණේ පසුගිය 24 වැනිදා උදේ වරුවේය.

ඒ වනවිට සිය පියා සොයමින් පොඩි සීයා ඇතුළු පවුලේ සාමාජිකයන් නොගිය තැනක්‌ නැත. මේ පුවත සැලවූ පසු පොඩි සීයා සිය ඥතියකු ගෙන්වා ඔහු අක්‌කරේපත්තුව රෝහල වෙත යෑවීමට කටයුතු කළේය.

ඥතියා 24 වැනිදා දහවල් අක්‌කරේපත්තුව රෝහලේ මෘත ශරීරාගාරය වෙත ගොස්‌ නාඳුනන සිරුර පරීක්‍ෂා කළේය. ඔහුට හීන්දාඩිය දැම්මේ ඝාතනයට ලක්‌ව සිටින පුද්ගලයා ලොකු සීයාම බව හඳුනා ගැනීමෙන් පසුවය. කාලයක්‌ තිස්‌සේ පාදයේ පවතින තුවාලයක්‌ නිසා ලොකු සීයා ඒ පාදයට මේස්‌ එකක්‌ පැළඳීමට පුරුදුව සිටියේය. මෘත ශරීරාගාරයේ තිබූ සිරුරේ එම මේස්‌ එක ඒ අයුරින්ම තිබිණි. එමෙන්ම අතේ ඇඟිල්ලක තුවාලයක්‌ තිබූ අතර එයද රෙදි පටිවලින් බැඳ තිබිණි. ලොකු සීයා අවසන් වරට ඇඳ සිටි ඇඳුම්වලින්ද ඔහු හඳුනා ගැනීමට ඥතියාට අපහසු වුණේ නැත.

ඥතියා ඒ මොහොතේම පොඩි සීයාට දුරකථන ඇමතුමක්‌දී ලොකු සීයාගේ සිරුර හඳුනාගත් බව දැනුම් දුන්නේය.

එහෙත් අක්‌කරේපත්තුව පොලිසිය පැවැසුවේ මියගිය පුද්ගලයා හඳුනා ගැනීම සඳහා ඔහුගේ පවුලේ ළඟම ඥතියකු පැමිණිය යුතු බවයි. ඒ අනුව පොඩි සීයා 24 වැනිදා සවස අක්‌කරේපත්තුව රෝහල වෙත ගියේය. කෲර අන්දමින් ඝාතනය කර තිබූ ලොකු සීයාගේ සිරුර පොඩි සීයා ද හඳුනා ගත්තේය.

ඒ වන විට මියගිය ලොකු සීයාගේ මරණ පරීක්‍ෂණය ද පවත්වා තිබිණි. මරණ පරීක්‍ෂණයෙන් නිගමනය කර තිබුණේ ලොකු සීයාගේ මරණය ගෙල සිරකිරීමකින් කර ඇති බවයි. ඒ අනුව මෙය මිනීමැරුමක්‌ බවට වෛද්‍යවරයා නිගමනය කළේය.

මොහොමඩ් සාලි නියාස්‌ නොහොත් ලොකු සීයා නාඳුනන සන්නද්ධ කණ්‌ඩායමක්‌ විසින් පැහැරගනු ලැබුවේ ඉකුත් ඔක්‌තෝබර් මස 27 වැනිදා සවස 6.25 ට පමණය.

ලොකු සීයා රාගම දේවාලයේ සිට වත්තල කෙරවලපිටිය ප්‍රදේශයේ පිහිටි නිවස බලා එමින් සිටියදී සුදු පැහැති වෑන් රථයක පැමිණි සන්නද්ධ පිරිසක්‌ මග හරස්‌ කර ලොකු සීයා පැහැරගනු ලැබීය. පැහැර ගන්නා අවස්‌ථාවේ ලොකු සීයා රුපියල් කෝටි 3 1/2 කට අධික වටිනාකමෙන් යුත් රන් ආභරණ පැළඳ සිටියේය.

ලොකු සීයාගේ පැහැර ගැනීම මුළු රටම ආන්දොaලනයට ලක්‌ කළ පුවතක්‌ විය.

ලොකු සීයාගේ සරණපතා ආ ප්‍රබල දේශපාලනඥයන්, ආරක්‍ෂක අංශ ප්‍රධානීන්, උසස්‌ පොලිස්‌ නිලධාරීන් රජයේ ඉහළ නිලධාරීන් ධන කුවේරයන් ඇතුළු බොහෝ දෙනෙක්‌ කලබලයට පත් වූහ.

ලොකු සීයා පිළිබඳ තොරතුරු සෙවීමට මේ පුද්ගලයන් දැඩි ලෙස වෙහෙස වූහ. එහෙත් සීයා පිළිබඳ කිසිදු තොරතුරක්‌ හෙළිදරව් කර ගැනීමට කිසිවකුටත් හැකි වුණේ නැත.

මාසයකට ආසන්න කාලයක්‌ තිස්‌සේ අබිරහසක්‌ව පැවැති ලොකු සීයාගේ අතුරුදන්වීම හෙළිවූයේ ඔහුගේ නිසල සිරුර අක්‌කරේපත්තුව රෝහලේ මෘත ශරීරාගාරයේ තිබියදී සොයා ගැනීමත් සමගය.

ගාල්ල ප්‍රදේශයේ දුෂ්කර ගම්මානයක උපත ලැබූ ලොකු සීයා රාගම ප්‍රදේශයට එන්නේ මීට වසර තිහ හතළිහකට උඩදීය. ඔහුගේ මුල්ම රැකියාව වූයේ මීකතුරු නිෂ්පාදනය කර ඒවා විකිණීමය.

මේ අතර මාතර ප්‍රදේශයේ කට්‌ටඬියකු ළඟින් ඇසුරු කිරීමට මොහොමඩ් සාලි නියාස්‌ට හැකි විය. ඒ කට්‌ටඬියාගේ මාර්ගයෙන් මොහුට වරමක්‌ ලැබුණු බවක්‌ පැවසෙයි. කාලාන්තරයකට උඩදී මියගිය කට්‌ටඬියන් 6 දෙනකුගේ බලයක්‌ ද ඒ සමග මොහොමඩ් සාලි නියාස්‌ට ලැබුණු බවක්‌ කියෑවිණි.

ඒ මියගිය ආත්මවලින් වැඩ ගන්නා බව පැවසූ මොහොමඩ් සාලි නියාස්‌ විවිධ විස්‌මිත ක්‍රියාවන්වල යෙදෙමින් විශාල ජනප්‍රසාදයක්‌ දිනා ගත්තේය.

කාලාන්තරයකට උඩදී මිය ගිය ලොකු සීයා නමැති කට්‌ටඬියකුගේ ආත්මය තමන් වෙත ලබාගත් බව කියන මොහොමඩ් නියාස්‌ ලොකු සීයා නමින් මහජනයා ඉදිරියේ පෙනී සිටියේය.

ලොකු සීයාගේ විශ්වකර්ම වැඩවලින් ඔහු දිනෙන් දිනම ප්‍රසිද්ධියට පත් වූවේය. ශාස්‌ත්‍ර කීම, හූනියම් කැපීම, යාග හෝම, බලි තොවිල් කිරීම තුළින් ලොකු සීයා විශාල ධනස්‌කන්ධයක්‌ ඉපයුවේය.

ලොකු සියාගේ සමීපතමයන් පවසන්නේ මීට වසර 20 කට පමණ උඩදී ඩුබායි රටේ සිට ධනකුවේරයකුට තිබූ ගැටලුවක්‌ නිරාකරණය කරදීමෙන් විශාල ධනස්‌කන්ධයක්‌ ලැබී ඇති බවයි.

එම ධනපතියාගේ පරම්පරාවේ පිරිමි පුද්ගලයන් අකාලයේ මියයැම නිසා ඔහු බලවත් කම්පාවට පත්ව සිටියේය. ලොකු සීයාගේ මාර්ගයෙන් කිසියම් ශාන්තිකර්මයක්‌ කිරීම නිසා එම ධනකුවේරයාගේ ගැටලුව නිරාකරණය වූ බවක්‌ පැවසෙයි.

ඊට කෘතගුණ සැලකීමක්‌ ලෙස ධනකුවේරයා ලොකු සීයාට රාගම විශාල දේවාලයක්‌ ඉදිකර දී අතිවිශාල ධනයක්‌ද ඔහුට පරිත්‍යාග කළ බව ලොකු සීයාගේ සමීපතමයෝ පවසති.

ඒ කෙසේ වෙතත් ලොකු සීයා සිදුකළ විවිධ විශ්වකර්ම ක්‍රියා නිසා ඔහුගේ සේවය ලබා ගැනීමට එන පුද්ගලයන් දිනෙන දිනම ඉහළ ගියේය.

එක හූනියමක්‌ කපා ඉවත් කිරීම සඳහා ලොකු සීයා රුපියල් ලක්‍ෂ 3 ත් 4 ත් අතර මුදලක්‌ අය කළේය. මාස දෙකකට වතාවක්‌ විශාල තොවිලයක්‌ පැවැත්වූ ලොකු සීයා විවිධ පුද්ගලයන්ගේ ගැටලුවලට පිළිසරණ වූවේය.

ඒ එක්‌ තොවිලයක්‌ අවසානයේ ලොකු සීයාට ලැබුණු මුදල රුපියල් ලක්‍ෂ 80 ක්‌ ඉක්‌ම වූ බව පැවසෙයි.

මේ ආකාරයට අතිවිශාල ධනස්‌කන්ධයක්‌ ඉපයූ ලොකු සීයා රාගම දේවාලයේ ප්‍රධානත්වයෙන් වාර්ෂිකව විශාල පෙරහැරක්‌ පැවැත්වීමට කටයුතු කළේය. රාගම නගරය වටා වීදි සංචාරය කරන මෙම පෙරහැර සඳහා ලොකු සීයා වැය කළ මුදල රුපියල් කෝaටි දෙකකට ආසන්නය. පෙරහැර පැවැත්වෙන දින ප්‍රදේශවාසීන්ට නොමිලයේ ආහාර දීම සඳහා විශාල දන්සල් 3 ක්‌ද වාර්ෂිකව පැවැත්වීමට ලොකු සීයා කටයුතු කළේය.

මුල්ලේරියාවේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ද ලොකු සියාගේ දේවාලයේ පිහිට පතා නිතර එහි ආගිය පුද්ගලයෙකි.

ජනප්‍රිය චිත්‍රපට නිළි අනර්කලී සමඟ ප්‍රශ්නයක්‌ ඇතිකරගත් දුමින්ද සිල්වා සහනයක්‌ පතාගෙන ලොකු සීයා සොයා ආවේ මීට වසර කීපයකට උඩදීය. ඒ වන විට දුමින්ද සිල්වා එක්‌සත් ජාතික පක්‍ෂයේ දේශපාලනඥයකු ලෙස කටයුතු කරමින් සිටියේය.

අනර්කලීගේ ප්‍රශ්නයෙන් ගැලවීමට කිසියම් ශාන්තිකර්මයක්‌ කර ගැනීමට රාගම දේවාලයට මුලින්ම පා තැබූ දුමින්ද සිල්වා පසුකාලයකදී ලොකු සීයාගේ සමීපතම හිතවතකු බවට පත් වූවේය. ඒ මිත්‍රත්වය හරහා දුමින්ද සිල්වාගේ මිතුරන් රැසක්‌ම විවිධ සහන ලබා ගැනීමේ අරමුණෙන් ලොකු සීයා සොයා ආවේය.

පාතාලයේ දරුණුම අපරාධකරුවකුව සිටි කරාටේ ධම්මික පවා ලොකු සීයාගෙන් විවිධ ශාන්තිකර්ම කර ගැනීමට ආ බව පැවසෙයි. නාඳුනන කණ්‌ඩායමක්‌ විසින් කරාටේ ධම්මික අත්අඩංගුවට ගෙන දින කීපයකට පසු ලොකු සීයාවද පැහැරගෙන ගොස්‌ තිබිණි.

එහෙත් කරාටේ ධම්මික පැහැරගෙන යැමත් ලොකු සීයා අතුරුදන් වීමත් අතර සම්බන්ධයක්‌ තිබේදැයි මේ වන තුරු හෙළිවී නැත.

රටේ ප්‍රබලම දේශපාලනඥයන් හා ඔවුන්ගේ පුqත්‍රයන් පවා ලොකු සීයාගේ දේවාලය වෙත ආවේ විවිධ ශාන්තිකර්ම කර ගැනීම සඳහාය.

මේ තරම් දේශපාලන සම්බන්ධතා තිබූ ආරක්‍ෂක අංශවල ඉහළම පුද්ගලයන් ඇසුරු කළ ලොකු සීයා පැහැරගෙන ගියේ කවුරුන් විසින්ද කුමක්‌ සඳහා ද යන්න විශාල ප්‍රහේළිකාවකි.

රටේ ජනප්‍රිය පුද්ගලයන් මේ ආකාරයට අබිරහස්‌ අන්දමින් ඝාතනය කිරීම විශාල ප්‍රශ්නයකි.

මේ ඝාතනවල සුලමුල හෙළි කරගෙන අපරාධකරුවන් අත් අඩංගුවට ගැනීමට කටයුතු කිරීම පොලිසිය සතු වගකීමකි. රටේ පවතින වාතාවරණයත් සමග එය පොලිසියට විශාල අභියෝගයක්‌ ද වනු ඇත.

හේමන්ත රන්දුණු