පොලිස්‌ පරීක්‍ෂක ජෙයරත්නම්, කපිතන් ලක්‍ෂ්මන් ඇතුළු 80 ක්‌ මරා පිළිස්‌සීමේ අබිරහස හෙළිවේ

Spread the News

පොලිස්‌ පරීක්‍ෂක ජෙයරත්නම්, කපිතන් ලක්‍ෂ්මන්
ඇතුළු 80 ක්‌ මරා පිළිස්‌සීමේ අබිරහස හෙළිවේ

source:
* ත්‍රස්‌ත මර්දන ඒකකයේ ජෙයරත්නම්ව පැහැරගෙන
ගොස්‌ විසි දිනක්‌ ගත වුවත් පොලිසිය බලා සිටියා
– පොලිස්‌ පරීක්‍ෂක සංගමයේ හිටපු සභාපති ඩේල් ගුණරත්න

* ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණ සොයාගත්
මාවත් ජෙයරත්නම්වත් එදා පොලිස්‌ බලධාරීන් පැත්තකට වීසිකර දැමුවා
– පොලිස්‌ පරීක්‍ෂක නිලබ්දීන්

* කොටින්ගේ පැහැර ගැනීමට ලක්‌වූ ජෙයරත්නම්ව
සොයනු වෙනුවට පොලිසිය ඔහුගේ නිවස පරීක්‍ෂා කරලා

“අත්අඩංගුවට ගනු ලැබූවන්ට ජීවත්වීමේ හිමිකම තිබෙනවා”
– ත්‍රිකුණාමලයේ කොටි දේශපාලන නායක ලෙස ක්‍රියා කළ
මිනීමරු එලිලන්ගේ බිරිය වූ ආනන්ති සසිකරන්


ජෙයරත්නම්

ජෙයරත්නම්ගේ බිරිය සරලා

හිටපු ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ඩේල් ගුණරත්න

ජෙයරත්නම්ව පැහැර ගැනීම මෙහෙය වූ මනෝහරන් හෙවත් මනෝ

ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව සාවද්‍ය යුද අපරාධ චෝදනා එල්ල කරන මානව හිමිකම් කොමසාරිස්‌ නවිපිල්ලේ මෙම 26 වැනිදා මෙරටට ඒමට නියමිතව තිබියදී අට වසරක්‌ තිස්‌සේ වැලලී තිබූ අබිරහසක්‌ අනාවරණය විය. ඒ අත්අඩංගුවට පත්ව සිටි පුදුකුඩිඉරිප්පු සහ වල්ලිපුරම් ප්‍රදේශවල පිහිටා තිබූ ඇල්පා – 2 සහ ඇල්පා – 5 නමැති කොටි කඳවුරු බාර ත්‍රස්‌තවාදියාගෙනි.

මේ කොටි කඳවුරුවල පොලිස්‌ පරීක්‍ෂක ජෙයරත්නම් සහ යුද හමුදා කපිතන්වරයකු ඇතුළු ද්‍රවිඩයන් 80 ක්‌ රඳවා සිටියා. ඉන් තිස්‌ දෙනෙක්‌ 2006 මැයි මාසයේදී දැස්‌ බැඳ විලංගු දමා ලොරියක නංවා ඔඩ්ඩුසුඩ්ඩාන් කැලයට ගෙන ගොස්‌ වෙඩි තබා මරා පුළුස්‌සා දැමුවා. 2006 ජුලි මාසයේදී ඉතිරි 50 දෙනා ද එකී කැලෑවට ගෙන ගොස්‌ ඝාතනය කර පුච්චාදමනු ලැබුවා. 2006 සැප්තැම්බර් මාසයේ දිනෙක පුදුකුඩිඉරිප්පු වල්ලිපුනම් ප්‍රදේශයේ ඉස්‌ටර් නමැති කොටි රෝහලට මීටර් 300 ක්‌ පමණ පිටුපස පිහිටි කැලෑවට පොලිස්‌ පරීක්‍ෂක ජෙයරත්නම්ව ගෙන ගොස්‌ වෙඩි තබා මරා පිළිස්‌සුවා.”

යුද හමුදා කපිතන්වරයකු ද විශ්වමඩු තෝට්‌ටඅඩි ප්‍රදේශයේ කොටි කඳවුරක රඳවා සිටියා. 2009 දී ඔහුට ද වෙඩි තබා මරා පුළුස්‌සා දැමුවා යෑයි එම කොටි ත්‍රස්‌තවාදියා බිහිසුණු මිනිස්‌ ඝාතනයක තොරතුරු හෙළි කරමින් කියා සිටියේය.

මොහු සැපයූ තොරතුරුවලට අනුව එකී මිනිස්‌ ඝාතනයට සම්බන්ධ තවත් කොටි ඝාතකයන් තිදෙනකු ද අත්අඩංගුවට ගැනුනි.

මෙලෙස ඉතාමත් බිහිසුණු අයුරින් ඝාතනය වූයේ ගල්කිස්‌ස ත්‍රස්‌ත මර්දන ඒකකයේ දෙවැනියා ලෙස කටයුතු කළ පොලිස්‌ පරීක්‍ෂක ටී. ජෙයරත්නම්, යුද හමුදා කපිතන් ලක්‍ෂ්මන්, බුද්ධි සේවා නිලධාරියකු වූ ලුතිනන් රාජා, ඩොව්රා ප්‍රහාරක යාත්‍රාවක සිටි නැවියන් දෙදෙනකු හා කොටි විරෝධීන් පිරිසකි.

මින් පොලිස්‌ පරීක්‍ෂක ජෙයරත්නම් කොටි බුද්ධි නායක ෂිවශංකර් පොට්‌ටු අම්මාන් යෙදවූ උගුලකට ගොදුරු විය. ප්ලොට්‌ සංවිධානයේ හිටපු සාමාජිකයකු වූ මනෝ හෙවත් මනෝහරන් වසර 2 1/2 ක්‌ තිස්‌සේ ජෙයරත්නම්ව ආශ්‍රය කළේය. මනෝ සිය ජංගම දුරකථනයේ අංකය පවා ජෙයරත්නම්ගේ බිරිය වූ සරලාට දී තිබිණි. ගල්කිස්‌ස පොලිස්‌ මූලස්‌ථානයට සම්බන්ධ පොලිස්‌ නිවසක වාසය කළ ජෙයරත්නම් හමුවීම සඳහා මනෝ විටින් විට එහි පැමිණි බව අනාවරණය විය. තමා කොටහේනේ සිය මවගේ නිවසේ සිටින බව මනෝ පැවසූ අතර එය සත්‍යයක්‌ දැයි විමර්ශනය කිරීමට පළපුරුදු නිලධාරියකු වූ ජෙයරත්නම් ක්‍රියා කළේ නැත. විදේශ රටකට යැම සඳහා 2002 නොවැම්බර් මස ගත් ගමන් බලපත්‍රය ද ඔහු ජෙයරත්නම්ට පෙන්නුවේය. එහෙත් ගල්කිස්‌ස ත්‍රස්‌ත මර්දනයේ ඒකකයේ ප්‍රධානි නිලබ්දීන් කිසිවිටෙක මනෝ නමැත්තාව විශ්වාස කළේ නැත. ඒ වන විට සටන් විරාමය ක්‍රියාත්මක වීම නිසා නිලබ්දීන් හා ජෙයරත්නම් අවලංගු කාසි බවට පත්වී සිටියහ.

නිලබ්දීන්ව ගල්කිස්‌ස පොලිසියේ මුල්ලකට යොමු කර තිබිණි. ත්‍රස්‌ත මර්දන කටයුතු අත්හිටුවා තිබිණි. “දැන් මාවයි, ජෙයරත්නම්වයි කොටින්ගේ ඉලක්‌කය කරලා තියෙන්නේ අපේ අයමයි”යෑයි වරක්‌ නිලබ්දීන් කියා සිටියේය.

කොළඹ කොටුවේ මහ බැංකු බෝම්බයට ප්‍රභාකරන් සම්බන්ධ බවට සනාථ කිරීම සඳහා මුතූර්හි කින්නිය කොටි පාලන ප්‍රදේශයට ගොස්‌ ඇඟිලි සළකුණු තිබූ තෑගි පෙට්‌ටිය සොයා ගත්තේ ද ඔවුන් දෙදෙනායි.

නිලබ්දීන් දිනක්‌ ජෙයරත්නම්ව කැඳවා මනෝ ගැන විශ්වාස දැයි විමසීය. “සැක කළ හැකි දෙයක්‌ නැහැ” යෑයි ජෙයරත්නම් කීවේය. මම නම් ඕකව විශ්වාස කරන්නේ නැහැ යෑයි නිලබ්දීන් කියා සිටියේය.

එම ප්‍රකාශය නිලබ්දීන් කරන අවස්‌ථාවේ ඔවුන්ට කොටින්ගෙන් මරණීය තර්ජන එල්ලවී තිබිණි. “මේ සටන් විරාමය අපිව කොටු කරලා. මම රට යනවා” යෑයි ජෙයරත්නම් පළ කළේය. මේ පසුබිම මත ජෙයරත්නම් මනෝට පැවසුවේ කොටි තමාව මරා දැමීමට ඉඩ ඇති නිසා විදේශගත වීමට අවශ්‍ය බවයි.

මනෝ බලා සිටියේ ද එවන් අවස්‌ථාවකි. තමාගේ මස්‌සිනා වන කුමාර් ලන්ඩනයේ සිට පැමිණ ඇති බවත් ඔහුට ඊට සහාය විය හැකි යෑයි පැවසූ මනෝ පවුලේ අය සමග බම්බලපිටියේ හෝටලයක රාත්‍රි භෝජනයට යමු යෑයි යෝජනා කළේය. එහෙත් ජෙයරත්නම් පැවසුවේ එකී ප්‍රදේශයේ කොටි චරපුරුෂයන් සිටින බවයි. අවසානයේදී ගල්කිස්‌ස හෝටලයේදී ජෙයරත්නම් හා ඔහුගේ බිරිය ද දරු දෙදෙනා ද මනෝ සහ මස්‌සිනා යෑයි කියන කුමාර් ද රාත්‍රි භෝජනයට එක්‌වූහ. මේ සාදය පැවැතියේ 2005 අප්‍රේල් 20 දා රාත්‍රියේයි. මෙහිදී ‘කුමාර්’ නමැත්තා ලන්ඩන් නුවරින් ගෙන ආ බව කියමින් ජෙයරත්නම්ගේ දරු දෙදෙනාට කුඩා ‘ටෝච්’ දෙකක්‌ ද පරිත්‍යාග කළේය. එහෙත් එම ටෝච් පිටකොටුවේ පදික වේදිකාවෙන් මිළයට ගෙන ඇතැයි පසුව අනාවරණය විය. ගල්කිස්‌ස හෝටලයේ රුපියල් 18000 ක බිල ගෙවා දැමූ මනෝ හයිඒස්‌ වෑන් රියකින් ජෙයරත්නම්ගේ බිරිය හා දරු දෙදෙනා ගල්කිස්‌ස පොලිසිය ළඟින් බස්‌සා ආපසු හෝටලයට පැමිණ ඇත.

ජෙයරත්නම් සිය බිරිය හා දරු දෙදෙනාව නිවසට යෑවීමට පෙර පැවසුවේ පොලිස්‌ ක්‍ෂේත්‍ර බළකා මූලස්‌ථානයට රාජකාරි වාර්තා කළ යුතු නිසා තමා නිවසට එන්නේ නැති බවයි.

මේ අතර අප්‍රේල් 21 පෙරවරු 8 ට පොලිස්‌ ක්‍ෂේත්‍ර බළකා මූලස්‌ථානයෙන් ජෙයරත්නම්ගේ බිරිය වූ සරලා අමතමින් කියා සිටියේ ජෙයරත්නම් සේවයට පැමිණියේ නැති බවයි.

ඉන් කලබලයට පත් සරලා ජෙයරත්නම්ගේ ජංගම දුරකථනය ඇමතූ නමුත් එය ද ක්‍රියා විරහිත කර තිබිණි. ජෙයරත්නම්ව පැහැරගෙන ඇත්තේ කොටි යෑයි නිලබ්දීන් කියා සිටියේය. එවකට කොළඹ ත්‍රස්‌ත මර්දන ඒකකයේ සේවය කළ ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ඩේල් ගුණරත්න කොන්දක්‌ ඇති පොලිස්‌ නිලධාරියකු ලෙස ප්‍රකටම සිටියේය.

ත්‍රස්‌ත මර්දන ක්‍රියාදාමයන් නතර කරන්නැයි එදා රජය නියෝග කර තිබියදී ඩේල් රහසිගතව විමර්ශන ආරම්භ කළේය. මනෝ නමැත්තා සමග කුමාර් එකතුවී ජෙයරත්නම්ව වත්තන් කරගෙන ගල්කිස්‌ස හෝටලයෙන් පිටව යන අයුරු ආරක්‍ෂක වීඩියෝ කැමරාවල සටහන් වී තිබිණි.

වසර අටකට පසු කොටි ත්‍රස්‌තයකු ජෙයරත්නම්ව පැහැරගෙන ගිය අයුරු හෙළි කළේය. මත්පැන්වලට මත්පෙති දමා හයිඒස්‌ වෑන් රියකින් හලාවතට ගෙන යනු ලැබූ ජෙයරත්නම්ව ඉන් පසු බෝට්‌ටුවකින් මන්නාරමට ගෙනගොස්‌ පසුව කිලිනොච්චියට යවා ඇත.

මේ අතර සිය සැමියාව පැහැරගෙන ගියේ කොටි යෑයි ජෙයරත්නම් බිරිය සරලා කීවාය. “වසර දහයකට පෙර මගේ සැමියාගේ සොහොයුරා ටී. රාජරත්නම් නමැති පොලිස්‌ රියෑදුරාවත් කොටි මැරුවා. ඔහුගේ පියාට හා මවට කොටි කඩුවලින් කෙටුවා” යෑයි ඇය තවදුරටත් පැවසුවාය. මේ අතර ජෙයරත්නම්ව පැහැරගෙන ගොස්‌ විසි දිනක්‌ ගතවුවත් පොලිසිය සහ රජය ඔහුට සිදුවූයේ කුමක්‌දැයි සෙව්වේ නැත.

ඒ අතරේ සියලු පොලිස්‌ නිලධාරීන් මවිතයට පත් කරමින් පොලිස්‌පතිවරයා පුවත්පතකට ප්‍රකාශයක්‌ කරමින් කොටි හෝ වෙනත් කණ්‌ඩායමක්‌ විසින් ජෙයරත්නම්ව පැහැරගෙන ගිය බවට පැහැදිලි සාක්‍ෂි නැතැයි කියා සිටියේය.

එම ප්‍රකාශයෙන් පොලිස්‌ පරීක්‍ෂක සංගමයේ සභාපති ඩේල් ගුණරත්න විස්‌මයට පත්විය. ඔහු තම පොලිස්‌ පරීක්‍ෂක ධුරය ගැන නොතකා රජය හා පොලිස්‌ බලධාරීන්ව මුළුමනින්ම හෙළා දැක්‌කේය. “කොටි ගල්කිස්‌සේ දී ජෙයරත්නම්ව පැහැරගෙන ගොස්‌ දින 20 ක්‌ ගත වුණත් රජයට හමුදා හෝ පොලිස්‌ දෙපාර්තමේන්තුව ඔහුව හා පැහැරගෙන ගිය පිරිස හසුකර ගැනීමට අපොහොසත් වී තිබෙනවා. කොටි ජෙයරත්නම්ව පැහැරගෙන ගිය බවට සාක්‍ෂි නැතැයි පොලිස්‌පති කරන ප්‍රකාශය ද අපි තරයේ හෙළා දකිනවා” යෑයි ඔහු තවදුරටත් පළ කළේය.

මේ අතර කොටි විසින් පැහැරගත් සිය සැමියාව නිදහස්‌ කරදෙන ලෙස සරලා සටන් විරාම කමිටුවට කීවත් තමන්ට ඒ සඳහා බලයක්‌ නැතැයි එකී කමිටුව පවසනු ලැබීය. අනතුරුව ඇය ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය වෙතින් ද ඉල්ලීමක්‌ කළාය. ජෙයරත්නම් පැනලා යන්න ඇති යෑයි එවකට කොටි දේශපාලන නායකයා වූ තමිල් සෙල්වන් විසින් ප්‍රකාශ කරනු ලැබීය.

මේ පසුබිම මැද සරලා ජෙයරත්නම්ට සිදුවූයේ වඳින්න ගිය දෙවොල හිස මත කඩාවැටීමට සමාන සිද්ධියකි. නිලබ්දීන් හා ජෙයරත්නම්ගේ ත්‍රස්‌ත මර්දන කටයුතු නිසා දැඩි ලෙස ඊර්ෂ්‍යාවෙන් පෙළුණු පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ තමන්ට හිතවත් මාධ්‍ය පාර්ශ්ව ලවා ජෙයරත්නම් කොටි බුද්ධි සේවාවේ සේවය කළ බවත් තොරතුරු හෙළිවීමට පෙර වන්නියට පැනගත් බවත් දැක්‌වෙන තොරතුරු ප්‍රචාරය කිරීමට ක්‍රියා කළහ.

ඒ සමගම 2006 ජනවාරි සිට ජෙයරත්නම්ගේ වැටුප ගෙවීම ද නතර කරනු ලැබීය.

කොටි සංවිධානය විසින් ජෙයරත්නම්ව ෙද්‍රdaහියකු ලෙස නම්කර තිබියදී ඔහු සේවය කළ ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් බිරිය සරලාට දිනපතාම හිරිහැර කිරීමට ක්‍රියා කරනු ලැබීය.

සරලා සිය සත් හැවිරිදි හා පස්‌ හැවිරිදි දරු දෙදෙනා සමග වාසය කළේ ගල්කිස්‌ස පොලිස්‌ අධිකාරි කාර්යාලයට යාබද පොලිස්‌ පරීක්‍ෂකවරුන් සඳහා වූ මහල් නිවසකය. දිනක්‌ ඇය සිය දරු දෙදෙනා සමග නිවසින් පිටවී සිටියදී නිවස කඩා ස්‌වර්ණාභරණ සහ වෙනත් වටිනා දේ සොරාගෙන තිබිණි.

මේ සමගම ජෙයරත්නම්ගේ නිවසේ තිබී අධිතාක්‍ෂණික ස්‌නයිµර් අවියක්‌ සොයාගත් බවට පුවතක්‌ ද ඇතැම් පොලිස්‌ නිලධාරීන් විසින් සිය මාධ්‍ය සගයන් ලවා ප්‍රචාරය කරනු ලැබීය. මේ අවිය 2 වැනි ජගත් සංග්‍රාමයේ භාවිතා කළ පැරැණි ගිනි අවියකි. එය ජෙයරත්නම්ගේ පියාට අයිති එකක්‌. ඔහු බන්ධනාගාර නිලධාරියකු ලෙස සේවය කළා. මෙම පරණ අවිය අපේ ගෙදර සාලයේ තිබෙන බව හැමෝම දැන සිටියා”යෑයි සරලා කියා සිටියාය.

එසේම ඇගේ නිවසට යැම ද තහනම් කර තිබිණි. මෙවන් තත්ත්වයක්‌ මැද එවකට හමුදා මාධ්‍ය ප්‍රකාශක වූයේ වත්මන් හමුදාපති දයා රත්නායකයි. ජෙයරත්නම්ව පැහැරගෙන යැම ගැන පොලිස්‌ බලධාරීහු හමුදා මාධ්‍ය ප්‍රකාශයට පවා දැනුම් දී නැත.

මේ අතර පොලිස්‌ පරීක්‍ෂක ඩේල් ගුණරත්න සේවය කළ ත්‍රස්‌ත විමර්ශන ඒකකය මනෝ නමැත්තාගේ ජංගම දුරකථනයේ ඇමතුම් විමර්ශනයට ලක්‌ කළහ. අප්‍රේල් 19 දා තෙක්‌ම ඉන් ඇමතුම් ලබාගෙන ඇත්තේ වන්නියට යෑයි ඉන් සනාථ විය.

මෙම පසුබිම මැද ගල්කිස්‌ස ත්‍රස්‌ත මර්දන ඒකකයේ ප්‍රධානියාව සිටි නිලබ්දීන් තම ද්‍රවිඩ ඔත්තුකරුවන්ගෙන් ජයරත්නම්ව පැහැරගෙන ගියේ කොටි යෑයි සොයා ගත්තේය.

අනතුරුව නිලබ්දීන් ප්ලොට්‌ නායක සිද්ධාර්ථන්ට ඇමතුවේය. මනෝ කොටි සමග සබඳකම් පැවැත්වීම නිසා සංවිධානයෙන් ඉවත් කළ බව සිද්ධාර්ථන් හෙළි කළේය. තමා කොටි විරෝධියකු යෑයි පෙන්නුම් කිරීමට මනෝ විවිධ උපක්‍රම භාවිත කළේය. කොටි තමාට මර්ණීය තර්ජන එල්ල කරන බවට ඔහු සටන් විරාම කමිටුවට පැමිණිල්ලක්‌ ද කළේය. පැමිණිල්ලේ පිටපතක්‌ ඔහු ජෙයරත්නම්ට ද පෙන්නුවේය. ජෙයරත්නම්ගේ පවුලේ විශ්වාසය දිනාගැනීම සඳහා ඔහු සිය ජංගම දුරකථනයේ 0776016002 නමැති අංකය ද ජෙයරත්නම්ට දුන්නේය.

මනෝ විසින් සිය ඥතියකු යෑයි හඳුන්වා ගත් කුමාර් ද තමා ලන්ඩනයේ හීත්රෝ ප්‍රදේශයේ පදිංචිව සිටින බවත් ගොඩනැඟිලි කොන්ත්‍රාත්කරුවකු ලෙස සේවය කරන බවත් දක්‌වමින් ජෙයරත්නම් සහ ඔහුගේ පවුලේ අයව රවටා ඇත. ඔහු ලන්ඩනයේ සිට පැමිණි බවට සනාථ කිරීම සඳහා සෙලිබ්‍රේෂන්ස්‌ නමැති ටොµs බෝතලයක්‌ ද ජෙයරත්නම්ගේ නිවසට ගෙනවිත් ඇත.

එහෙත් මනෝ නතරවී සිටියේ කොළඹ කදිරේෂන් විදියේ පිහිටි මානිචාර් සහ අයිලන්ඩ් නමැති ලැඟුම්හල්වල යෑයි නිලබ්දීන් සොයා ගත්තේය.

ඊට සමගාමීව නිලබ්දීන්ගේ තවත් චරපුරුෂයකු දැනුම් දුන්නේ මනෝ හෙවත් මනෝහරන් වව්නියාවේ කුකුලන් මුනිප්පාල් නමැති හින්දු කෝවිල අසල ජීවත්වන සිය මවවූ නවරත්නම් නමැත්තියගේ නිවසට පැමිණ ඇති බවයි.

ජෙයරත්නම්ව පැහැරගෙන යැමෙන් දින 14 කට පසු එනම් මැයි 4 දා සටන් විරාම කමිටුව රජයේ සාම ලේකම් කාර්යාලයට ලිපියක්‌ එවමින් ජෙයරත්නම්ව පැහැර ගැනීමට කොටි සංවිධානය සම්බන්ධ නැති බව දන්වා ඇතැයි දන්වනු ලැබීය.

මෙය හොරාගේ අම්මාගෙන් පේන ඇහීමට සමාන ක්‍රියාවක්‌ නොවේද? 2002 සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මකවීමෙන් පසු ජෙයරත්නම් පමණක්‌ නොව නිලබ්දීන් ද දැඩි අසීරු තත්ත්වයට පත්වී තිබිණි. ජෙයරත්නම්ව වනාතවිල්ලුව පොලිසිය වෙත මාරු කිරීමට ද ක්‍රියා කෙරිණි. එය කොටින්ට ජෙයරත්නම්ව බන්දේසියක තබා බිලි දීමට දැරූ උත්සාහයකි. එහෙත් පසුව ඔහුව පොලිස්‌ ක්‍ෂේත්‍ර බළකාය වෙත මාරු කෙරිණි.

ජෙයරත්නම් පමණක්‌ නොව ත්‍රස්‌ත මර්දන ඒකකයේ ප්‍රධානි නිලබ්දීන් ද දෙවතාවක්‌ම කොටි ඝාතන ප්‍රයත්නවලින් ගැලවිණි. එහෙත් සතුරු කවුද මිතුරු කවුද යෑයි නිලබ්දීන් දැන සිටියේය. ජෙයරත්නම්ව පැහැරගෙන යැමෙන් පසු නිලබ්දීන් විගස විදේශගත විය.

නවරත්නම් ජෙය මනෝහරන් හෙවත් මනෝ නමැත්තාගේ මෙහෙයුම මත පොලිස්‌ පරීක්‍ෂක ජෙයරත්නම්ව පැහැරගෙන යැමේ සිද්ධියෙන් පසු කොළඹ ත්‍රස්‌ත මර්දන ඒකකයේ සේවය කළ ඩේල් ගුණරත්න විසින් මනෝගේ ඡායාරූපයක්‌ ද සොයා ගනු ලැබීය.

එම ඡායාරූපය දුටු ජෙයරත්නම්ගේ බිරිය සරලා ඒ සිය සැමියාව පාවා දුන් ෙද්‍රdaහියා යෑයි හඳුනා ගත්තාය. පොලිස්‌ හිරිහැර මැද සරලා ගල්කිස්‌ස පොලිස්‌ නිවාසයෙන් ඉවත් වූවාය. ඇය දැන් යාපනයේ පදිංචිව සිටී.

වන්නියට ගෙනයනු ලැබූ ජෙයරත්නම්ව අරුල්මුල් නමැති කොටි වධකයා ලවා ප්‍රශ්න කිරීම්වලට ලක්‌කර ඇතැයි ද වාර්තා විය.

මේ අතර කොටි විසින් ඝාතනය කළ පොලිස්‌ පරීක්‍ෂක ජෙයරත්නම්ව මේ දක්‌වා මරුමුවට පත්වීමෙන් සිදු කෙරෙන උසස්‌වීම් ලැබී නැත. ඔහුගේ බිරිය සරලා සිය සැමියාට හිමි උසස්‌වීම හා ඊට අදාළ විශ්‍රාම වැටුප ලබාදෙන්නැයි ඉල්ලා ඇත. එහෙත් වත්මන් පොලිස්‌ බලධාරීහු ඇගේ ඉල්ලීම් ඉටු කරයිද? ඊ.පී.ඩී.පී. නායක ඩග්ලස්‌ දේවානන්දට කොටි බෝම්බකාරියකගෙන් බේරා ගැනීමට දායක වූ උප පොලිස්‌ පරීක්‍ෂක නිහාල් අශෝකා උසස්‌වීමකට සුදුසු යෑයි දේවානන්ද නිර්දේශ කර තිබිණි. එහෙත් පොලිස්‌ බලධාරීහු ඔහුට ද උසස්‌වීමක්‌ දුන්නේ නැත. ඔහු පසුගියදා මියගියේය.

මේ අතර ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ඩේල් ගුණරත්න ද පොලිස්‌ සේවාවෙන් ඉල්ලා අස්‌විය. මෙම තත්ත්වය මැද ත්‍රිකුණාමලයේ කොටි දේශපාලන නායකයා ලෙස ක්‍රියා කළ මිනීමරු එලිලන්ගේ බිරිය ද්‍රවිඩ සන්ධානයෙන් උතුරු පළාත් සභාවට තරග කරයි. ඇය දැන් සිය සැමියාගේ මානව හිමිකම් ගැන හඬ නගයි. එහෙත් සරලාගේ සැමියා වූ පොලිස්‌ පරීක්‍ෂක ජෙයරත්නම් මෙන්ම කපිතන් ලක්‍ෂ්මන් ඇතුළු අහිංසක ද්‍රවිඩයන් 80 ක්‌ අමු අමුවේ මරා පුළුස්‌සා දමා තිබේ. මෙය යුද අපරාධයක්‌ නොවෙන්නේද?

කීර්ති වර්ණකුලසූරිය