201178265 635483534074428 7301814534809815834 N
Spread the News

(2024\05\19)

එක් අපුරු සත්‍ය කතාවක් !

ස්වභාව ධර්මයාගේ න්‍යාය.  

මා කන්ඳ උඩරට හද්දා ගමක හැදී වැඩුනෙක්ය. ලමාකාලය ගෙවුනේ ඇලේ, දොලේ, ගලේ, ඇලේ, වෙලේ, ගහේය. මුල් කල වාහන ඉතා අඩු කාලයක් වූ අතර තිබෙන වාහනයකට වුවද ගම තුලට ඒමට පාරක් නොවිය. කුඹුරුයායවල් අතරින් නියරේ සැමදා පයින් ගමනා ගමනය කල අප වැසි දිනවලදී ගෙදර සිට පාවහන් ගලවාගෙන නියර දිගේ ගොස් තාර පාර අසල වූ ලිඳෙන් කකුල් සෝදා පාවහන් පයලෑම අපගේ දිනචරියාවේ එක් අංගයක් විය.

ගමේ ගැමි ක්‍රීඩා රාශියක් වූ අතර අපගේ ප්‍රියතම ක්‍රීඩාව වුයේ එල්ලේය. අපි කුඹුරු කපනකල් නොඉවසිල්ලෙන් බලා සිටියේ එල්ලේ ක්‍රීඩා කිරීමටය.

දැන් මම අදාළ කතාන්තරය පටන්ගනිමි.

මා දැනට සිටින නිවස ඉදිරිපිට අදටත් විශාල කුඹුරු යායකි. එහි මත්තේ එදා කුඩා නිවසක් විය. අප මහා කෙරුමෝ නොවුනත් අපටත් වඩා ආර්ථික අපහසුකම් සහිත දරු 5 දෙනෙකුන් සහිත පවුලක් එදා එහි ජිවත් විය. ඒ ගෙදර වැඩිමලා මගේ යාළුවෙකි. අප සමග නිතර එල්ලේ ක්‍රීඩාවට එකතුවුණු ඔහු තරමක දඩබ්බරයෙක් විය.  රහසින් වුවත්, සමහරවිට බැනුම් මැද්දේ වුවත් ඔවුන්ගේ පවුල බොහෝ විට සිය කුසගිනි නිවා ගත්තේ අප ගෙවත්තේ වූ කොස්ගස් ටිකට පින්සිදු වන්නටය.

ලමාකාලය නිමාකරමින් මා විශ්වවිද්‍යාලය වෙත පිය මැන්නේය. ඔහු ගමෙන් අතුරුදහන් විය. ඔහු ගැන කිසිදු ආරංචියක් නොආවේය. පසුව යම් දිනක මහනුවර වූ එක්තරා ආගමික සංවිධානයක් හරහා එම ආගම් කතෘ කෙනුකුන් ලෙස පත්වීමක් ලැබ නයිජීරියාවේ ඔහු වසන බව ආරංචියක් පැතිර ආවේය. එහි සත්‍ය අසත්‍යතාව ගැන දැනගැනීමක් පවා අපට එකල කල නොහැකි විය. ඔහුගේ පවුල ගම හැර ගියද ඔහුගේ උදව්වෙන් ඔවුන් ආර්ථික වශයෙන් ඉහලම තලයකට පසුව පැමිණි බව පසුව ආරංචි විය. ඉන් අවුරුදු 10කට පමණ පසුව ඔහු ගමට ආවේය. ඔහු එහිදී හැසිරුනේ සිංහල භාෂාව ඉතා අමාරුවෙන් උච්චාරණය කරන්නකු ලෙසය. නැවතත් ඔහු අතුරුදන් විය. ඉන් පසුව ඔහු ගැන කිසි ආරංචියක් මට නම් නොආවේය.

මෑත භාගයේදී මිට වසර 3\4කට ඔහු මට නැවතත් සම්බන්ධ විය. අති දැවැන්ත ව්‍යාපාරිකයකු ලෙසින් කිරිබත්ගොඩ පෙදෙසේ වසන බව ඔහු මට දැන්විය. ඒ වනවිට ඔහුගේ බිරිඳ වූ නීති ක්ෂේස්ත්‍රයේ ඉහලම පුටුවක සිටි ඇය පිළිකාවක් වැළඳී මිය ගොස් සිටියේය.

මේ ඔහුගේ කතාවයි.

යුද්ධය දැවැන්ත ලෙස ඇවිලෙමින් අවසානයට ලංවෙමින් තිබිණි. හිටි අඩියේ වීඩියෝවක් ජාත්‍යන්තර මාධ්යේ සැරිසරන්නට විය. මුළු ලොවම කලබල විය. හමුදා සෙබළුන් යයි කියාගත් පිරිසක් නිරුවත් කල තරුණන්ගේ හිසට වෙඩි තබා මරා දමන අයුරු එහි දිස් විනි. එක්සත් ජාතින් රැස්විණි. ලංකාවට හමුදා යැවිය යුතු යයි තීරණය වී තිබිණ. එකල මොහු දියුණු යයි සම්මත රටක රජයේ ප්‍රමිති ආයතනයක රසායනජ්නයෙක් (Chemist) ලෙස සේවය කරමින් සිට ඇත. ඔහුද එම වීඩියෝව දැක්කේය. වහා එය බාගත කළේය. තමා දන්නා සියලු ජ්නානය එයට යොදා එය සත්‍යදැයි බැලිය. එය නිර්මාණයක් බව ඔහුට ඒත්තු ගැන්විණි. වහා එම වීඩියෝව තම ප්‍රධානියා වන සුදු ජාතිකයා වෙත රැගෙන ගිය ඔහු එය ඔහුට පෙන්වා එය නිර්මාණයක් (Fake) යයි ඔහුගෙන් සහතික කරගත්තේය. වහා ලංකාවට පැමිණියේය. ඉන් පසු වූ සිදුවීම් පෙළ මෙය ප්‍රසිද්ධ ජනමාධ්යේ පලවන බැවින් මෙතන ලිවීමට නුසුදුසුය.

ලොවටම සත්‍ය මුදා හැරියේය. මොහොතකින් එම වීඩියෝව අදාළ පුද්ගලයන් විසින් සන්සරණයෙන් ඉවත්කරගෙන තිබිණි. ඉන් ලංකාවට සිදුවන්නට ගිය මහා විපතක් වැළකිණි.

මේ සම්බන්ධයෙන් මට කීමට ඇත්තේ මෙයයි.

ස්වභාව ධර්මයේ න්‍යාය නම් සුදුස්සා සුදුසු තැන ස්ථානගත කිරීමය. මෙය “කර්මය” කියා බුදු දහමේ හැඳින්වේ. මගේ ගමේ සාමාන්‍ය දුප්පත් ගොවි පවුලක උපත ලබා සරොම් කොටයක් හැඳ අප හා වෙල් එළියේ එකල කෙලි කම් කල ……… නමැති කොලුගැටයෙක් දිනක මෙවැනි වූ වික්‍රමයක් කරනු ඇතැයි කිසිදා කිසිවකු එදා විශ්වාස කරනු තබා හිතන්නෙවත් නැත. ස්වභාව ධර්මය විසින් ඔහු නිසි කල නිසි ස්ථානයක ස්ථානගත කොට තිබිණි. එවන් ස්ථානයක ඔහු වැනි වුවෙක් ස්ථානගත නොකරන්නට ලංකා කේන්ද්‍රය ආපසු කැරකෙන්නට ඉඩ තිබිණි. ස්වභාව ධර්මය රට වෙනුවෙන් ඔහු නිසි කල නිසි තැන ස්ථාන ගන්වනු ලැබිය. අද රට යන දරුවන් තමන් නොදැන වුවත් මේ සිදුකරවනු ලබන්නේ දිනෙක වූ අවශ්‍යතාවක් උදෙසා ස්වභාව ධර්මයා විසින් ඔවුන් දේශයේ අනාගත උවමනාවන් වෙනුවෙන් ලොව අවශ්‍ය ස්ථානයන්හි ස්ථානගත කිරීමය.

ස්වභාව ධර්මයාගේ ක්‍රමවේදය මෙයයි.

ඔහුද පසුව පිළිකාවකින් මිය ගියේය. කෝටිපතියකු වුවත් මිය යන්නට ප්‍රථම තමා ඒ ළමා කාලයේ කල දඩබ්බර ක්‍රියාවන් ගැන ඔහු මගෙන් සමාව ඉල්ලිය. “එදා මම ඔයාගේ කොස් ගහට නැංගේ බඩගින්න නිසාමයි” යනුවෙන් ඔහු නිර්ලජ්ජිතව මා හට පවසන විට මට වචන නැතිවිය. ඒ සියලු විස්තර මා හට පැවසු කෝටිපති ඔහු යන්නට ගියේය. මගේ ගමේ සාමාන්‍ය ගොවි පවුලක උපත ලබා ලාභ සහ ප්‍රසිද්ධිය නොබලා නිහඬව රටක් බේරාගත් මේ උතුම් මිනිසාට අපි කෙසේ කළගුණ දක්වන්නද ?

ඔහුට සහ ඔහුගේ නාමයට නමස්කාර වේවා !

මෙවැනි වූ මිනිසුන් අදද ලක් දෙරණේ ඇත. ඔවුන් නිහඬය. නමුත් ඔවුන් තම වැඩ කොටස උපරිමයෙන් රටවෙනුවෙන් කරයි. එවැනි වූ මිනිසුන් වදන්නට ශ්‍රී ලංකා මාතාව තවදුරටත් වාසනාවන්තය.

දරුවනි ! දිනුව මේ රටයි. උතුම් ජාතියයි. සුරැකගන්න ඔබ හට යුතුකමක් තියෙනවා (විල්බට් ඇන්තනි).

වෛද්‍ය ධම්මික විජේරත්න