මුදලට විකිණෙන රටේ අනාගතය!

Spread the News

මුදලට විකිණෙන රටේ අනාගතය!

source:


දරුවන් යනු මේ රටේ අනාගතයය. දරුවන් හදන්නන් වාලේ හදා කාට හෝ ඒ දරුවන්ගේ අයිතිය භාර දී අතපිස දමා ගැනීමට හැක්‌කේ කවර මවකටද? කවර පියෙකුටද? අපට එසේ අසන්නට සිතුණේ මොරටුව, රාවතාවත්ත ප්‍රදේශයේ ප්‍රේම් නිවාස නම් වන ස්‌ථානයක දරුවන් විකුණන ජාවාරමක්‌ ඇතැයි මාධ්‍යවලින් ඊයේ (24 වැනිදා) හෙළිකළ පසුව ඒ පිළිබඳ කළ සොයා බැලීමෙන් පසුය.

මොරටුව, රාවතාවත්ත ප්‍රදේශයේ ද සොයිසා මාවතේ අංක 22 දරන ස්‌ථානයේ මේ කියන “ප්‍රේම් නිවාසය” පිහිටා තිබිණි.

 


ළමා නිවාසය

දරුවන් විකුණන මහා පරිමාණ ජාවාරමක්‌ ක්‍රියාත්මක වනවා යෑයි කියූ තැනට “දිවයින” අපි ගියේ මේ පිළිබඳ සෙවීමටය.

“අපි නම් ඔය මුකුත් දන්නේ නෑ. අපි අපේ ජීවිත බේරාගෙන ඉන්න ඕනේ.” මේ කියන ප්‍රේම් නිවස ඉදිරිපිට වෙළෙඳ සලේ අයකු අප කිසිවකු අසන්නටත් කලින් අපට කියා සිටියේ “මේ අය මේවා කරන්නේ ලොකු ලොකු සබඳතා තියාගෙන” යෑයිද පවසමිනි.

අප අන්ද මන්ද වූයේ මේ දැනුත් කට්‌ටියක්‌ තර්ජනය කළා යෑයි කියූ පසුවය.

ගතවූයේ මොහොතකි. යතුරු පැදිවලින් පැමිණි පස්‌ හයදෙනෙක්‌ අප වටකර ගත්හ. එවිට නම් අපට සිතුණේ කුමක්‌ හෝ වරදක්‌ මේ මොහොතේ සිදුවෙමින් පවතින බවය.

අපගෙන් ප්‍රශ්න කළ විට අප කීවේ අහවල් පත්තරෙන් ආ බවය.

“මෙම ස්‌ථානයේ වන්නේ කුමක්‌ද? මේ කියන දේවල් බොරුද? අප ඇසුවේ අපටත් මේවායේ ඇත්ත නැත්ත දැනගන්නට අවශ්‍ය බව කියමිනි.

අප කළ පැහැදිලි කිරීම හා මිත්‍රශීලී ආමන්ත්‍රණ ඒ අයට වැටහුණු බව හැඟිණි.

ඔවුන්ගේ වැරැදි අවබෝධය නිවැරැදි වූ පසු අපට මේ කියන ප්‍රේම් නිවස වෙත යන්නට අවසර ලැබිණි.

ඇත්තටම මේ කියන නිවස ළමා නිවසක්‌ද? මෙහි දරුවන් විකුණන ජාවාරමක්‌ තිබේද?

අපි ඉදිරිපිට සිටියේ ළමා නිවාසයේ පාලිකාවය. ඇය නමින් මේරී එලීසාය. ඇය ඉන්දියාවේ ඉපදී පසුව කන්‍යා සොයුරියක්‌ බවට පත්ව ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ කල්කටාවේ ජීවිතයට ආයුබෝවන් කියමිනි. වෛද්‍ය මුතුකුමාරණ නම් අයකුට අයත්ව තිබූ මොරටුව, රාවතාවත්තේ අංක 22 දරන ස්‌ථානය මදර් තේරේසා නම් කිතුණු නිකාය වෙත බාර කළේ යහපත් දෙයකට භාවිත කරන ලෙසිනි. ඒ 1960 වසරයි. ඒ අනුව කල්කටාවේ සිට මෙරටට පැමිණි මේරී එලීසා කන්‍යා සොයුරිය යටතේ දරුවන්ට රැකවරණය සලසන ළමා නිවාසයක්‌ බවට මෙය පත්විය.

මෙය ක්‍රම ක්‍රමයෙන් කුඩා දරුවන්ගේ පමණක්‌ නොව ගැබිනි මවුවරුන්ටත් සෙත සලසන ආයතනයක්‌ බවට පත්විය. 1984 සිට මෙය පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇත.

ඒ අනුව කුඩා දරුවන් හදාවඩා ගන්නට කැමති මෙරට දෙමාපියන්ටද, විදේශීය රටවල
මව්පියන්ටද දරුවන් නීත්‍යානුකූලව බාරදීම මෙම ආයතනයෙන් සිදුවී ඇත.

මේරි එලීසා කන්‍යා සොයුරිය ඒ පිළිබඳ කියන්නේ මෙලෙසය.

“මෙම ස්‌ථානය අසරණයින්ට පිහිට වෙන තැනක්‌. ඇතැම් දුප්පත් දෙමාපියන්ට ඒ අයගේ දරුවන් හදා වඩා ගන්න ආර්ථික ශක්‌තියක්‌ නැති වුනාම ඒ දරුවන් අපට ගෙනත් බාර දෙනවා. අපි ඒ දරුවන්ට රැකවරණය දෙනවා. තවත් පිරිසක්‌ ඉන්නවා අඩු වයසෙදි, එහෙම නැත්නම් විවාහ වෙන්න පෙරාතුව ගැබ් ගන්නවා. එවැනි අයත් මෙතැනට එනවා. ගැබිනි මව් වරුන්ගේ පෞද්ගලිකත්වය, ආත්ම ගෞරවය ආරක්‌ෂා කරමින් දරු ප්‍රසූතිය දක්‌වාම අපි ඒ අය බලාගන්නවා.

අපි දරුවන් මේ රටේ දෙමාපියන්ට, පිටරටවල දෙමාපියන්ට හදාවඩා ගන්න දෙනවා තමයි. හැබැයි ඒක කරන්නේ අධිකරණයේ අවසරය මතයි. අපි කිසිවකුගෙන් ඒ වෙනුවෙන් මුදල් ගන්නේ නෑ” ඇය තවදුරටත් කියා සිටියාය.

ගබ්සාවද හොඳ? එහෙම නැත්නම් මෙවැනි දරුවන් ජීවත් කරවීමද හොඳ? රාවතාවත්ත මීසම බාර ටිරෝන් පෙරේරා පියතුමා විමසා සිටියේය. පියතුමා කීදේ ඒ පියතුමාගේ භාෂාවෙන්ම මෙසේය.

“උපදින්න ඉන්න දරුවන් ගබ්සා නොකර ඒ දරුවත්, මවත් රැකගන්න එක වැරදිද? අපේ ආයතනය ආගම්, භාෂා, ජාති කුල මලවලින් තොරව කාටත් සරණ වෙනවා. මම මේ මීසම බාර පියතුමා මෙතැන සිටින කිසිම දරුවකු අපි විකුණන්නේ නෑ. දෙමාපියන්ගේ ලිත කැමැත්ත, මත, අධිකරණය හරහායි අපි දරුවන් වෙනත් දෙමාපියන්ට බාරදෙන්නේ. ඒ වෙනුවෙන් සත පහක්‌වත් ගන්නේ නෑ.”

ඒ “ප්‍රේම් නිවස” බාරව සිටින පාලිකාවගේ සහ මීසම බාර පියතුමා කියන්නේ එවැනි දෙයක්‌ය.

ඇත්තටම මෙහි දරුවන් විකිණීමේ ජාවාරමක්‌ තිබුණේද? තිබුණේ නම් 1960, 70, 80, 90, 2000 දශකවල සිටි අයට මේ කටයුත්ත නොපෙනුනේ මන්ද? අඩුම තරමින් පරිවාස හා ජාතික ළමාරක්‌ෂණ අධිකාරිය පෙරේදා (23 වැනිදා) වනතුරුම මෙම ස්‌ථානය පිළිබඳ සොයා නොබැලුවේ මන්ද? දරුවන් බාරගෙන ඒ අය මෙරට හෝ පිටරටක වෙනත් මවකට පියකුට බාරදීමට “ප්‍රේම් නිවස”ට ඇති නෛතිකභාවය කුමක්‌ද?

අනෙක්‌ කාරණය වන්නේ කිසිදු සොයා බැලීමකින් තොරව ගැබ්ගත් තරුණියක මෙම ස්‌ථානයට ආපසු ඒ ගැබිනි මවට රැකවරණදී අවසානයේදී උපදින දරුවා කාට හෝ පවරාදීමේ ඒ තීරණාත්මක කාරිය කිරීමට මෙවැනි ආයතනයකට හැකිද? මේ රටේ ඒ පිළිබඳ නීතිය කුමක්‌ද? ඇත්තටම පරිවාස හා ජාතික ළමාරක්‌ෂණ අධිකාරිය කියන පරිදි මෙහි මුදලට දරුවන් විකිණීමේ ජාවාරමක්‌ තිබුණේද? මේ ප්‍රශ්නවලට අදටත් පිළිතුරු නැත. එක්‌ එක්‌ පාර්ශ්ව එක්‌ එක්‌ දේවල් කියනු ඇත. මෙම ආයතනයේ නෛතික භාවය ආයතනය කරගෙන යන කටයුතු පිළිබඳ සොයා බලා ඒවායේ අකටයුතුකම් සෙවීමට ආයතන තිබේ. මේ රටේ ජනතාව ඒ ආයතනවල ඊළඟ පියවර දෙස විමසිල්ලෙන් බලා සිටින්නේ මෙය සැබැවින්ම ජාවාරමක්‌දැයි සැක පහළ වී ඇති නිසාය.

පරිවාස හා ජාතික ළමාරක්‌ෂණ අධිකාරිය නොදන්නා දෙයක්‌ද අපි ලිවීමට කැමැත්තෙමු. නොදන්නේ නම් මේ කියන ස්‌ථානද වටලා හෝ නොවටලා ඒ ස්‌ථානය පිළිබදවද සොයා බැලීම වටිනා බව කීමට කැමැත්තෙමු.

“මදර් තෙරේසා” නිකායට අයත් තවත් මධ්‍යස්‌ථාන හතක්‌ අපේ රටේ තිබේ. මාතර “ශාන්ති” නිවස, ගාල්ලේ “අපේක්‌ෂා” නිවස, මහනුවර “දයා” නිවස, කුරුණෑගල “මෙත්” නිවස, ත්‍රිකුණාමලය “කරුණා” නිවස, වව්නියාව “අන්පහම්” නිවස සහ යාපනේ “අටයිතිඉල්ලාම්” නිවස ඒ ස්‌ථාන හතය. මේවායේ සිටින්නේ එක්‌කෝ අසරණ දරුවන්ය. නැතිනම් ආබාධිත වූවන්ය. නොමැති නම් වයෝවෘද්ධ මව්වරු පියවරුය. මේ තැන්වල ගැබිනි මව්වරු සහ කුඩා දරුවන් සිටින්නට හෝ නොසිටෙන්නට පුළුවන. නමුත් මේ එකම ජාලයකට අයත් තැන්ය. ඒවායේ කෙරෙන දැ නොසොයන්නේ මන්ද? ප්‍රශ්නයක්‌ සිතට නැගේ.

රාවතාවත්තෙහි පිහිටි “ප්‍රේම් නිවස” වටලන විට දරුවන් හැත්තෑවක්‌ පමණ සිට ඇත. ඒ බව පාලිකාව වන මේරි එලීසා කන්‍යා සොයුරියද පිළිගනී.

එපමණක්‌ නොව ගැබිනි මවුවරුද තිස්‌පස්‌දෙනෙක්‌ පමණ රැකවරණ පතා පැමිණ සිsටියහ.

ජාතික ළමා ආරක්‍ෂණ අධිකාරිය හා පොලිසිය මෙම ස්‌ථානය වැටලූ පසුවත් මේ අය එපරිද්දෙන්ම සිටිති. කර ඇත්තේ කට උත්තර ලබා ගැනීම පමණි. ප්‍රදේශයේ ජනතාව දානමාන දෙති. ඇතැම් පිරිස්‌ මෙම ස්‌ථානයේ කරන දේවල්වලට දොස්‌ කියති.

මේ වනවිට දෙමාපියන් විසින් භාරදුන් දරුවන්a දෙදහසක්‌ පමණ පිරිසකට ජීවිතය දෙන්නට මෙම ස්‌ථානය සමත්වී ඇතැයි එහි සේවකයෙක්‌ කීවේය. එහි ඇත්ත නැත්ත අපි නොදනිමු.

රාවතාවත්ත මීසම භාර ලේකම් ලෝරන්ස්‌ මාටින් මහතා කියන්නේ මෙහි යම් අකටයුත්තක්‌ වන්නේ නම් ඊට එරෙහිව මුලින්ම පෙරමුණට එන්නේ තමුන් යෑයි කියාය. ගබ්සාව නතර කර, මේ දරුවන් හා මව රැකගැනීම උතුම් දෙයකි. ඒ දරුවන් අධිකරණය හරහා දෙමාපියන්ට භාරදීම වරදක්‌ද? ඔහු එසේ අසයි.

දැන් අපට අසන්නට ඇත්තේ මේ වැටලීම සාධාරණද යන්නය. සාධාරණ වැටලීමක්‌ නම් එළැඹෙන දිනක මෙහි සුලමුල සොයා මෙය ජාවාරමක්‌ද කියා රටටම හෙළිකළ යුතුය. මොරටුව පොලිසිය මේ ස්‌ථානයේ වන දැ මෙතෙක්‌ කලක්‌ දැන නොසිටියේද යන ගැටලුවද ඇත.

මේ රටේ දරුවන්ට මහ නරක කාලයක්‌ උදාවී ඇත. එක්‌ පසෙකින් ස්‌වභාවික විපතට ලක්‌වන දරුවෝද තවත් පසෙකින් ඩෙංගු වැනි වසංගතවලින් මිය පරලොව යති. තවත් විටක දෙමාපියෝ දරුවන් මරා දමති. අඹු – සැමි ආරවුල් හා අනියම් සබඳතා වලින්ද තැළී පොඩි වී යන්නේ මල්වැනි දරුවන්ය.

කප්පම් වෙනුවෙන් බිලි වන්නේද දරුවන්ය. ලිංගික අතවර වලට ලක්‌වන්නේ ද දරුවන්ය. “දරුවාට සුබ අනාගතයක්‌” ලබාදෙන රටක දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක මේ තැන් පිළිබඳ මීට වඩා සොයා බැලිය යුතුය. මේ කියන රාවතාවත්ත ළමා නිවස වෙත ජාතික ළමා ආරක්‍ෂණ අධිකාරියේ නිලධාරීන් මාසයකට වරක්‌ පැමිණ පරීක්‍ෂණ කරන බව කියති. එක්‌කෝ එන නිලධාරියා අල්ලසට යටවී සිටිය යුතුය. නැතිනම් මෙය සාමාන්‍ය තත්ත්වයක්‌ විය යුතුය. එනිසා රට හොල්ලා කළ මේ මෙහෙයුම අවසන් වන ආකාරය දෙස මේ රටේ ජනතාව විමසිල්ලෙන් බලා සිටිය යුතුය.

දරුවන් යනු මේ රටේ අනාගතයය. අනාගතය ජාවාරමක්‌ බවට පත්කර ඇත්නම් කොටි ත්‍රස්‌තවාදයට එරෙහිව පෙළගැසුණා සේ ඒ ජාවාරමට එරෙහිව මේ රටේ දෙමාපියන් එකාපිට එකා පෙළගැසෙන බව අපට විශ්වාසය.

ශිරාන් රණසිංහ
ඡායා – කමල් බෝගොඩ|

One thought on “මුදලට විකිණෙන රටේ අනාගතය!

Comments are closed.