මධ්‍යස්ථ මතධාරී දෙමළ නායකයන්ට සවන්දීමේ අවශ්‍යතාව

Spread the News

මධ්‍යස්ථ මතධාරී දෙමළ නායකයන්ට සවන්දීමේ අවශ්‍යතාව

tamil-polition1970 පාර්ලිමේන්තු මැතිවරණයේදී   අප ජීවත් වූ කන්ත‍ලේ ප්‍රදේශය මුත්තූර් බහු ආසනයට අයත් වූ අතර, එම ඡන්දයෙන් මුත්තූර් ආසනයේ පළමු  මන්ත්‍රීවරයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ.එල්. අබ්දුල් මජීඩ් මහතාත්, දවෛනි මන්ත්‍රීවරයා හැටියට ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ ඒ. තංගදුරෙයි මහතාත් තේරී පත්වූහ. දමිල බහුතරයකින් යුත් කන්ත‍ලේ කෝවිල්ගමේ විසූ අපගේ පියාණන් ඒ වනවිට ක්‍රියාකාරී දේශපාලනයෙහි නිරතව සිටි අතර, 70 මැතිවරණයේදී ඔහු සහාය දැක්වූයේ අබ්දුල් මජීඩ් මහතාටය. අබ්දුල් මජීඩ් මහතා 70-77 සමගි පෙරමුණු රජයේ ප්‍රවෘත්ති හා ගුවන්විදුලි නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර, දෙවසරක කාලයක් නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයාව සිට පසුගියදා එම තනතුරින් ඉවත් වූ නජීබ් මජීඩ් මහතා ඔහුගේ පුත්‍රයාය. 70 මැතිවරණය නිමා වී දින දෙකකට පසුව කන්ත‍ලේ කෝවිල්ගමට පැමිණි තංගදුරෙයි මහතා අසල්වැසි නිවසේ කම්බි වැට අස්සෙන් රිංගා පිළිකන්න පැත්තෙන් අපේ ගෙට ගොඩ වූ අයුරු එවකට කුඩා පාසල් සිසුවෙකුව සිටි අපට හොඳ හැටි මතකය.
කෝ, රත්නසේකර මහත්තය නැද්ද ගෙට ගොඩවෙමින් තංගදුරෙයි මහතා විමසූ විට, පියාණන් මජීඩ් මහතා හමුවීමට කින්නියාවට ගිය බව අම්මා පවසා සිටියාය. දැන් අපි දෙගොල්ලොම දිනුම්, ඡන්දෙ කා‍ලේ වගේ දෙපැත්තට බෙදිල වැඩකරල බෑ ඉස්සරහට. දෙමළ, සිංහල, මුස්ලිම් ඔක්කොමල එකතු වෙලා මේ රට දියුණු කරන්න උත්සාහ කරන්න ඕනෙ. රත්නසේකර මහත්තයව හම්බවෙලා කතා කරන්න මම ආයෙත් වෙලාවක එන්නම්කො. තංගදුරෙයි මන්ත්‍රීතුමා නිවැරදි සිංහලෙන් කීවේය.
මීට වසර 45කට පෙරාතුව සිදුවූ ඒ අතීත සිද්ධිය අප මතකයට නැගුවේ තංගදුරෙයි මන්ත්‍රීතුමා එදා කී දේ අදටත් එලෙසින්ම වලංගු වන නිසාය. ද්‍රවිඩ ජාතික සන්ධාන නායකයන්ගේ මෙන්ම ‍පොදුවේ දමිල දේශපාලනඥයන්ගේ ක්‍රියාකාරිත්වය පිළිබඳව, ඔවුන් විටින් විට කරනු ලබන ප්‍රකාශ පිළිබඳව මේ දිනවල විවිධ අදහස් උදහස් පළකෙරෙන නිසාය.
ද්‍රවිඩ ජාතික සන්ධානය තුළ මෙන්ම ‍පොදුවේ දේශපාලන ක්‍ෂේත්‍රය තුළ සිටින මධ්‍යස්ථ මතධාරී දමිල දේශපාලනඥයන්ට දමිල අන්තවාදීන්ගෙන්ම යළිත් ප්‍රහාර එල්ලවන්නට පටන් ගෙන ඇත. පසුගිය පෙබරවාරියේ පැවැති නිදහස් දින සමරු උළෙලට ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතාත් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතාත් සහභාගි වූ අතර, දමිල දේශපාලන නායකයන් මෙවර නිදහස් උත්සවයට සහභාගි වූයේ වසර 43කට (1972න්) පසුව වීම සුවිශේෂී වන්නේය.
එහෙත් උතුරේ සමහර අන්තවාදී දේශපාලනඥයන් මේ පිළිබඳව සිය විරෝධය එළිපිටම ප්‍රකාශ කළ අතර සම්බන්ධන් මහතාගේ සහ සුමන්තිරන් මහතාගේ රූවලට සමාන ලෙස සකස් කරන ලද පඹයන් පුළුස්සා දැමීමටද ඇතැමෙක් ඉදිරිපත් වූහ. දකුණේ දේශපාලනඥයන් පරිදිම, උතුරු – නැගෙනහිර දේශපාලන වේදිකාව තුළද විවිධ මත දරන දමිල දේශපාලනඥයන්ගෙන් අඩුවක් නැත්තේය. රටෙන් කෑල්ලක් කඩාගෙන ඊළාම් රාජ්‍යයක් පිහිටුවීමට සිහින මවන අන්තවාදීහු මෙන්ම ඒකීය ශ්‍රී ලංකාවක් තුළ පුළුල් බලය බෙදීමක් වෙනුවෙන් පෙනී සිටින මධ්‍යස්ථ මතධාරී දමිල දේශපාලනඥයෝ ද මේ අතර සිටිති. මේ හැම වර්ගයේම දේශපාලනඥයෝ එදත් සිටියහ. අදත් සිටිති. එහෙත්, මධ්‍යස්ථ මතධාරී දමිල දේශපාලනඥයන් හරිහැටි හඳුනාගැනීමට දකුණේ දේශපාලනඥයන් පමණක් නොව ‍පොදු ජනතාවද අසමත් වූ බව අපගේ නම් අදහසයි.
කෙසේ වුවද, මීට කලින් අප විසින් ලක්බිම තුළින් පෙන්වා දුන් පරිදි (2015 පෙබරවාරි 5 දින ලක්බිම ඉරිදා සංග්‍රහය බලන්න) වසර ගණනාවක් තිස්සේ පළුදු වී ගිය ජාතික සංහිඳියාව යළි ගොඩනැගීමට පසුගිය  ජනාධිපතිවරණය හරහා පුළුල් අවකාශයක් විවර වී ඇත්තේය. පසුගිය ජනාධිපතිවරණ සමයේදීත් ඊට පෙරාතුවත් ද්‍රවිඩ ජාතික සන්ධානය පුන පුනා කියා සිටියේ ඒකීය ශ්‍රී ලංකාවක් තුළ බලය බෙදීමකට තමන් එකඟ වන බවයි. බහුතර සිංහල ජනතාව එකඟ නොවන විසඳුමක් තමන්ට අවශ්‍ය නොවන බවද ටී.එන්.ඒ. නායකයෝ මෑතකදී කිහිපවරක්ම ප්‍රකාශ කළහ. වෙනකක් තබා, ශ්‍රී ලංකාව දෙකඩ කරනු ලබන කිසිදු ක්‍රියාවකට තමන් සම්බන්ධ නොවනා බවට ද්‍රවිඩ සන්ධානය අධිකරණයට දිවුරුම් පෙත්සමක් පවා ඉදිරිපත් කළේය. ද්‍රවිඩ ජාතික සන්ධානයට එරෙහිව අධිකරණයට ඉදිරිපත් කෙරුණු පෙත්සමක් හේතුවෙන් එබඳු ප්‍රකාශයක් කරන්නට ඔවුන්ට සිදුවී යැයි කෙනෙකුට තර්ක කළ හැකි වුවද, මින් ඉදිරියට රට බෙදන්නට සහාය නොදෙනා බවට ටී.එන්.ඒ. සංවිධානය දිවුරා සිටීම ම සාධනීය ප්‍රවණතාවක් බව අපගේ නම් අදහසයි. එහෙත්, ජාතික සංහිඳියාව ගොඩනැගීමේ ක්‍රියාදාමය හැකි ඉක්මනින් ඇරඹීමේ අවශ්‍යතාව පිළිබඳ කතිකාව මේ වනවිට යටපත් වී ඇති බවක් පෙනෙන්නට ඇත්තේය. විශේෂයෙන්, යෝජිත ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සංවාදය දේශපාලනය කරළියේ මුල්තැන ගැනීම නිසාවෙන් ජාතික සංහිඳියාව ගොඩනැගීමේ ක්‍රියාදාමය ගැන කතිකාව යටපත් වී ඇති බවක් පෙනෙන්නට ඇත්තේය. මෙම පසුබිම තුළ, ජාතික සංහිඳියාව යළි ගොඩනැගීම උදෙසා ලැබුණු මේ අපූරු අවස්ථාව මඟහැරී යාවිදැයි සැකයක් බියක් අපට නම් ඇත්තේය.
යටකී පරිදි, ඊළාම් රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටින අන්තවාදීන් සහ මධ්‍යස්ථ මතධාරී දමිල දේශපාලනඥයන් අතර වෙනස නිවැරදිව වටහා ගැනීමට නොහැකි වීම දකුණේ දේශපාලනඥයන් වෙතින් කාලයක් තිස්සේ දක්නට ලැබුණු දුර්වලතාවකි. කොටි ත්‍රස්තවාදීන් හා සාමාන්‍ය දමිල ජනතාව අතර වෙනස නිවැරදිව වටහා ගැනීමට නොහැකි වීම කාලයක් තිස්සේ දක්නට ලැබුණු දුර්වලතාවකි. සෑම දමිලයෙක්ම කොටියෙක්ය යන අන්තවාදී, සාවද්‍ය ආකල්පය දෙමළ – සිංහල ජනතාව එකිනෙකාගෙන් දුරස් කරලීමට සෑහෙන දායකත්වයක් සැපයූ බව මුසාවක් නොවන්නේය. අප ඉහතින් මතක් කළ තංගදුරෙයි මහතා වැන්නන් විශාල පිරිසක් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ දේශපාලනයෙහි නිරතව සිට අතර, ඔවුනතරින් බොහෝ දෙනෙක් කොටි ත්‍රස්තවාදීන් අතින් ඝාතනයට ලක්වූහ. (අප හිතවත් තංගදුරෙයි මහතාද 1997 ජූලි මාසයේදී එල්.ටී.ටී.ඊ. මි‍ලේච්ඡයින් අතින් ඝාතනයට ලක්වූ බව මෙහිලා මතක් කරන්නේ බලවත් කනගාටුවෙනි.) දෙමළ ජාතික සන්ධානය පසුකලෙක එල්.ටී.ටී.ඊ. හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කළේ, එවැන්නක් පෙන්නුම් කරනු ලැබුවේ ඔවුන්ට වෙනත් විකල්පයක් නොතිබුණු නිසා බව තේරුම් ගැනීමට දකුණේ බොහෝ දෙනෙක් අසමත් වූහ. දෙමළ ජාතික සන්ධානය එවැනි ප්‍රතිපත්තියක් අනුගමනය කළේ එල්.ටී.ටී.ඊ. සංවිධානයට ඇති බිය නිසා බව තේරුම් ගැනීමට දකුණේ බොහෝ දෙනෙක් අසමත් වූහ. පසුගිය කාලයේ දෙමළ ජාතික සන්ධානයේ ක්‍රියාකාරකම් හැමෙකක්ම අනුමත කළ නොහැකි වුවද, එල්.ටී.ටී.ඊ. පාලනය යටතේ  පැවැති උතුරු – නැගෙනහිර  දෙපළාතේ දේශපාලනය කිරීම සඳහා කොටින්ගේ විවිධ කොන්දේසිවලට යටත් වීමට දෙමළ සන්ධානයට සිදුවූ බව අප තේරුම් ගත යුතුය.
කෙසේ වුවද, 2009 යුද්ධය නිමවීමෙන් පසුව, දෙමළ සන්ධානය යළිත් ප්‍රධාන දේශපාලන ප්‍රවාහයට එක්වීම අප නම් දකින්නේ ධනාත්මක ප්‍රවණතාවක් ලෙසටය. එහෙත් දකුණේ සමහර දේශපාලන නායකයෝ, විශේෂයෙන් පසුගිය රජයේ සමහර නායකයෝ දෙමළ සන්ධානයට තවදුරටත් කොටි ‍ලේබලය ඇලවූවා විනා ඔවුන්ගේ ඉල්ලීම්වලට කන් නොදුන්හ. දෙමළ ජාතික සන්ධානය තුළට ගොනුවී සිටින සෑම දේශපාලනඥයෙකුම ඊළාම් සිහිනයෙන් මිදී ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට එක්වනු ඇතැයි අපේක්ෂා කිරීම යථාර්ථවාදී නොවන බව ඇත්තක් වුවද, මේ වන විට ටී.එන්.ඒ. සංවිධානයේ බහුතර බලය මධ්‍යස්ථ මතධාරීන් අතට පත්ව ඇති බව අපගේ නම් අදහසයි. අඩුම තරමින් මතුපිටින් හෝ එවැන්නක් පෙනෙන්නට ඇත. කොටි හිතවාදීන්ගේ මෙන්ම දෙමළ ඩයස්‍පෝරාවේ ඇතැම් අන්තවාදීන්ගේ තර්ජන – ගර්ජන මැද්දේ වුවද, පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට ටී.එන්.ඒ. සංවිධානය තීරණය කරනු ලැබුවේ ඒ තුළ මධ්‍යස්ථ මතවාදය ජයග්‍රහණය කරනු ලැබූ නිසාය. මේ සම්බන්ධයෙන් ඉන්දියාවෙන් යම් බලපෑමක් සිදුවූවා යැයි කෙනෙකුට තර්ක කළ හැකිවුවද, ඉන්දියාවේ බලපෑම නිසා හෝ ප්‍රධාන දේශපාලන ප්‍රවාහයට එක්වීමට දෙමළ ජාතික සන්ධානය පෙළඹීම ධනාත්මක ප්‍රවණතාවක් වන්නේය.
උතුරු පළාත් සභා මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කළ ඉල්ලීම් කෙරෙහි යළිත් වරක් මොහොතකට අවධානය යොමු කරමු. ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීමක් වූයේ ආණ්ඩුකාර ධුරයට විශ්‍රාමික හමුදා නිලධාරියෙකු වෙනුවට සිවිල් පරිපාලන නිලධාරියෙකු පත් කිරීමයි. ඒ සඳහා දමිල ජාතිකයෙකුම අවශ්‍ය බවක් ඔවුන් ඉල්ලා සිටියේ නැත. වෙනකක් තබා, උතුරු – නැගෙනහිර දෙපළාතේ දමිල – සිංහල කාගේත් සිත් දිනා සිටි ප්‍රවීණ පරිපාලන නිලධාරියෙකු වන ලයනල් ප්‍රනාන්දු මහතාගේ නමද මේ සඳහා යෝජනා විය. අපගේ අදහස අනුව නම්, මෙය පහසුවෙන් ඉටුකළ හැකි හා ඉටුකළ යුතුව තිබුණු ඉල්ලීමකි. එහෙත් පසුගිය රජය එම ඉල්ලීම සමග සෙල්ලම් කළා විනා ටී.එන්.ඒ. හඬට කන්දුන්නේ නැත. යුද්ධයේදී අවතැන් වූ දමිල ජනතාවට ඔවුන්ගේ ඉඩම් යළි පවරා දීම දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කළ තවත් ඉල්ලීමකි. පාරම්පරිකව අයිතිව තිබි යුද්ධය නිසා අහිමි වුණු ඉඩම් සැබෑ අයිතිකරුවන්ට යළි පවරා දීම පිළිබඳව කිසිදු විවාදයක් තිබිය නොහැකිය.
එහෙත් පසුගිය රජයේ බලවතුන් මේ කෙරෙහි දැක්වූ ප්‍රතිචාරය කෙබඳු වීද? යුද්ධය නිමවී වසර පහක් ගතවුවද, ජාතික ආරක්ෂාව නමැති පළිහට මුවාවී උතුරේ ඉඩම් විශාල ප්‍රමාණයක් තවදුරටත් හමුදාව යටතේම තබා ගැනීමයි. එම ඉඩම් ඒවායේ අයිතිකරුවන්ට යළි පවරාදෙනු වෙනුවට, සංචාරක හෝටල්, ජනාධිපති මන්දිර වැනි විවිධ ඉදිකිරීම් කටයුතු සඳහා යොදා ගැනීමයි. මෙය උතුරේ දමිල ජනතාවට කරනු ලැබූ බරපතළ අසාධාරණයක් නොවන්නේද?
මෙම පසුබිම තුළ, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ රජයට විශාල කාර්යභාරයක් පැවරී ඇත්තේය. තිස් වසරක යුද්ධය නිසා බිඳී ගිය සිත්සතන් යළි සුවපත් කරන්නට, ජාතීන් අතර සුහදතාව – සංහිඳියාව යළි ගොඩනගන්නට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රජයට විශාල කාර්යභාරයක් පැවරී ඇත්තේය. මෙහිදී, දමිල ජනතාවගේ සාධාරණ ඉල්ලීම් ඉටුකරන අතරම ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීමද වැදගත් වන්නේය.  දමිල ජනතාවගේ සාධාරණ ඉල්ලීම්වලට වැට බඳින්නට ජාතික ආරක්ෂාව නමැති සටන් පාඨය පළිහක් කර නොගත යුතු අතරම, ම්‍ලේච්ඡ කොටි ත්‍රස්තවාදයේ නටබුන් තවමත් තැන තැන අළු ගසා නැගිටින්නට තතනන බවද අමතක නොකළ යුතුය. අපගේ අදහස අනුව නම්, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාත් සෙසු පළාත් සභා මැති – ඇමැතිවරුත් විටින් විට අන්ත ජාතිවාදී ප්‍රකාශ නිකුත් කරන්නේ ඉහත කී කොටි සෙවණැලි සතුටු කිරීම සඳහාය. පටු දේශපාලනයේ හැටි එහෙමය. ජාතිවාදී හැඟීම් අවුස්සා ජනප්‍රිය වීම දෙපැත්තේම දේශපාලනඥයන්ට පහසුය. තිස් වසරක යුද්ධයකින් බැට කන්නට අහිංසක ලාංකේය ජනතාවට සිදුවූයේ උතුරේ මෙන්ම දකුණේද සමහර ජාතිවාදී දේශපාලනඥයන්ගේ අමනෝඥ ක්‍රියාකාරකම් නිසාය. දැන්වත් ඒ තත්ත්වයෙන් මිදීමට උතුරේ මෙන්ම දකුණේද දේශපාලනඥයන් ඉටා ගත යුතුය. කොටි සෙවණැලිවලට යළි නැගිටීමට ඇති ඉඩකඩ මුළුමනින්ම අහුරාලන අතරම, මධ්‍යස්ථ මතධාරී දමිල දේශපාලනඥයන්ගේ සාධාරණ ඉල්ලීම්වලට කන්දීමට දකුණේ දේශපාලන නායකත්වය ඉදිරිපත් විය යුතුය. සෑම දමිලයෙක්ම කොටි ත්‍රස්තවාදියෙකු නොවන්නා සේම සෑම දමිල දේශපාලනඥයෙක්ම ජාතිවාදියෙකු නොවන බව දකුණේ දේශපාලන නායකත්වය තේරුම් ගත යුතුය.

கூட்டமைப்பின் தலைவர் இரா.சம்பந்தன் இனங்களுக்கு இடையில் பிளவினை ஏற்படுத்த முயற்சி – சிவஞானம்!

Thursday, July 05, 2012
இலங்கை::தமிழ்த் தேசியக் கூட்டமைப்பின் தலைவர் இரா.சம்பந்தன் இனங்களுக்கு இடையில் பிளவினை ஏற்படுத்த முயற்சித்து வருவதாக தேசிய இணக்கத்திற்கான கிழக்கு மக்கள் அமைப்பின் பிரச்சாரச் செயலாளரும், முன்னாள் ஈ.பி.ஆர்.எல்.எப். உறுப்பினருமான முருகேசு சிவஞானம் தெரிவித்துள்ளார்.கிழக்கில் இன சமூகங்களுக்கு இடையில் முறுகல்களை ஏற்படுத்த சம்பந்தன் முனைப்புகாட்டி வருவதாகக் குறிப்பிட்டுள்ளார்.

தேசியப் பிரச்சினை தொடர்பான நிலைப்பாட்டை சம்பந்தன் அடிக்கடி மாற்றிவருவதாகக் குற்றம் சுமத்தியுள்ளார்.

எவ்வாறெனினும், சம்பந்தனின் கருத்துக்களை கிழக்கு மக்கள் நம்ப மாட்டார்கள்என அவர் சுட்டிக்காட்டியுள்ளார்.

The LTTE was only a manifestation of an unsettled issue. If the issue was settled with the Bandaranaike-Chelvanayakam pact there wouldn’t have been an LTTE. If the issue was settled with the Dudley-Chelvanayakam pact, there wouldn’t have been an LTTE.