ඩොලර් සුවඳට කෙල හලන දියවන්නාවේ පෙරේත දෝශය

Spread the News

ඩොලර් සුවඳට කෙල හලන දියවන්නාවේ පෙරේත දෝශය
Posted on April 13th, 2018

බිනුරි දිසාසේකර

දේශමාමක සිහලුන් කෙසෙල් කඳන් ලෙස හෙලා දමමින්, පෙරදා ඒ ඓතිහාසික විශ්වාස භංගය පැරදවූයේ, දමිල සහ මුස්ලිම් ජාතිකත්වයයි. එයට සමගාමීව, සියලු දේශප්ප්‍රේමී බලවේගයන් මුලුගන්වමින් ඉදිරියට පැමිණියේ, ඩොලර් කුට්ටියේ බල මහිමය සහ සමහර ආත්මාර්ථකාමී දේශපාලකයින්ට ඇති පෙරේත දෝශයයි. ඒ අතර බොර දියේ මාලු බාමින්, විශ්වාස භංගයට පක්ශව චන්දය දුන් නමුත්, තම පක්ශයේ අනෙක් අය චන්ද පොලට නොයවා සීනු හැඬවූ, සමහර කපටි ආත්මාර්ථකාමී දේශපාලකයින් සිටි බවද නොරහසකි.

මේ අප එලඹ සිටින්නේ මවු බිමට ඉතාම තීරණාත්මක කාලයකටය. මේ රජය බලයෙන් පහ වීමට පෙර, ෆෙඩරල් ව්‍යවස්ථාවක් බලගැන්වීමට විදෙස් බලවේගයන් උපරිම ලෙස ක්‍රියාත්මක වනු ඇත. දිවි දෙවෙනි කොට මව් බිම ගැන සිතා මේ ෆෙඩරල් ව්‍යවස්ථාව පැරදවිය යුතුය.

අපගෙන් කෙමෙන් ගිලිහී යන සිංහල බෞද්ධ සංස්කෘතිය නැවත ස්ථාපිත කල යුතුය. ගමයි පන්සලයි හුදෙක් රට දැය සමය නගා සිටුවීම සඳහාම බැඳී සිටිය යුතුය. ඒ සඳහා පසුබිම සාදා ගැනීමට නම්, ඉදිරියට පිරිසිදු දේශපාලනයක් කරන්නන් පමනක් දියවන්නාවට යැවීමට දැන් සිටම මහජන සිත් සතන් හැඩ ගැස්විය යුතුය.

එමෙන්ම බටහිරට හෝ වෙනත් රටකට ගැති නොවී, අපේ ජාතිකත්වය සහ අපේම උරුමය අගය කරන තරුණ පරපුරක්, විශ්ව විද්‍යාල තුලින් බිහි කර දේශපාලනයට යොමු කිරිමට, උගත් බුද්ධිමතුන් සහ විශ්ව විද්‍යාල ආචාර්‍ය වරුන් උත්සුක වන්නේ නම්, එයින් අප රටට ඉතා යහපත් ප්‍රතිඵල ලැබෙනු ඇත.

මේ අප ගෙවන්නේ සුපිරිසිදු දේශපාලකයින් පමනක් නොයවා, ඩොලර් සුවඳට දිව දික් කරන වුන් පාර්ලිමේන්තුවට යැවීමේ දිට්ඨ ධම්ම වේදනීය කර්මයයි. එයට චන්ද දායකයින් වන අප සැවොම වග කිව යුතුයි. ගිය නුවණ ඇතුන් ලවාවත් ඇද්දවීමට නොහැකි මුත්, පෙර කල මෝඩ කම් නැවත නොකිරීමට දේශහිතෛශී ශ්‍රී ලාංකිකයින් වගබලා ගත යුතුයි. මේ සියලු දේශප්ප්‍රේමීන් රට වෙනුවෙන් එක්සත්ව ඉදිරියට පැමිණිය යුතු කාලයයි.