ඉන්දීය රුපියල් කෝටි 66කට වැඩි මුදලක්‌ නීති විරෝධීව ලබාගෙන දවසට දෙවරක්‌ම හඳහන බලවා ගත් ජයලලිතා හිරේ !

Spread the News

ඉන්දීය රුපියල් කෝටි 66කට වැඩි මුදලක්‌ නීති විරෝධීව ලබාගෙන
දවසට දෙවරක්‌ම හඳහන බලවා ගත් ජයලලිතා හිරේ !

* ඉඩම් අක්‌කර 200ක්‌ * රත්‍රං කිලෝ 32ක්‌ *සාරි 12,000ක්‌

* සපත්තු ජෝඩු 750ක්‌ පගා ගසා ඇති දේපළ අතර වෙයි

කෝටි 100 ක දඩයක්‌;

මහ ඇමැතිකමත් නැතිවෙයි

තමිල්නාඩුව ගිනි ගනී..!

කීර්ති වර්ණකුලසූරිය

ඉන්දීය රුපියල් කෝටි හැටහයකට අධික මුදලක්‌ නීති විරෝධීව උපයා ගැනීම සම්බන්ධයෙන් තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතා ජයරාම් වරදකාරිය යෑයි තීරණය කළ බැංගලෝර්හි විශේෂ අධිකරණය පෙරේදා (27 වැනිදා) ඇයට සිව් වසරක සිර දඬුවමක්‌ සහ රුපියල් කෝටි සියයක දඩයක්‌ද නියම කළේය.

තමන්ගේ කල දසාව පිළිබඳව විශේෂ අවධානයකින් සිටි ඇය දවසට දෙවරක්‌ (උදය සහ සවස) තම හඳහන ජ්‍යෙdතීර් වේදීන් ලවා බලාගත් අතර, විශේෂ අධිකරණ විනිසුරු මයිකල් ඩි කුන්හා ඇයට දඬුවම් නියම කරමින් කියා සිටියේ ජයලලිතාගේ සමීපතම මිතුරිය වන ශෂිකලා නඩරාජන් ඇගේ ඥති දියණියක්‌ වූ ඉලවරාශී සහ ජයලලිතා විසින් හදාවඩා ගත් පුත්‍රයා වන සුදර්කන් ද මෙම දූෂණ ක්‍රියාවල වරදකරුවන් බවයි.

මෙම පිරිසට ද වසර හතරක සිර දඬුවමක්‌ සහ කෝටි විසිපහ බැගින් දඩ මුදල් නියම කෙරිණි. මෙකී සිර දඬුවම නිසා ජයලලිතාට මහ ඇමැති ධුරය අහිමි වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය කාලය තුළ ජයලලිතා ඉඩම් අක්‌කර දෙසීයක්‌, රත්‍රං කිලෝ තිස්‌දෙකක්‌ සාරි 12,000 ක්‌ සහ පාවහන් ජෝඩු 750 කට වැඩි ප්‍රමාණයක්‌ නීති විරෝධී ගනුදෙනුවලින් ලබාගෙන තිබූ බව පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.

දූෂණ චෝදනා මත සිව් වසරක සිර දඬුවම් නියම වූ තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජෙයරාම් මේ වනවිට බන්ධනාගාර නිලධාරීන් විසින් පර්විනා බන්ධනාගාරය වෙත ගෙන ගොස්‌ සිරගත කර ඇත.

සම්භාවනීය අමුත්තන් රඳවන සිරකුටියක්‌ ඇයට ලබාදී තිබේ. සිරකාරියගේ අංකය 7402 ලෙස සඳහන් වේ. ජයලලිතාට හිරගෙදරදී ලබාදුන් ආහාරය ඇය ප්‍රතික්‌ෂේප කර තිබේ.

මේ අතර ජයලලිතාගේ හදාගත් පුත්‍රයා වන සුදාකරන් සහ අනෙකුත් මිතුරියන් දෙදෙනාද ඊට සමීප සිරකුටිවල රඳවා තිබේ. ජයලලිතාගේ නීතිඥයන් පවසන්නේ සිරදඬුවමට එරෙහිව අද (29 වැනිදා) අභියාචනයක්‌ ඉදිරිපත් කරන බවයි. මෙම සිරදඬුවම නිසා ඇයට දසවසරකට ඡන්දය ඉල්ලීමට නොහැකි වනු ඇත.

කෙසේ වෙතත් ඇගේ ආධාරකරුවන් පවසන්නේ ජයලලිතා පසුබිමේ සිට සිය පක්‍ෂය මෙහෙයවන බවයි. මෙම නඩු තීන්දුව සම්බන්ධව ප්‍රකාශයක්‌ කරන සුබ්‍රමනියම් ස්‌වාමි බැංගලෝර් අධිකරණය යුක්‌තිය ඉෂ්ට කර ඇතැයි කියා සිටියේය.

කර්නාටක ප්‍රාන්ත රජය ජයලලිතාට විරුද්ධව මෙම දූෂණ ක්‍රියා විමර්ශනය කිරීමට රුපියල් කෝටි දෙකක පමණ මුදලක්‌ වැයකර තිබේ.

මෙම තීන්දුව පිළිබඳව හිටපු මහ ඇමැති කරුණානිධිගේ ආධාරකරුවෝ ප්‍රීතිඝෝෂා පවත්වමින් සිටිති.

ජයලලිතාට හිතවත් පිරිස්‌ කලබලකාරී තත්ත්වයක්‌ ඇතිකිරීමට උත්සාහ කරන බවද ආරංචි මාර්ග කියයි.

බැංගලෝර් අධිකරණය විසින් තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතාට සිර දඬුවමක්‌ නියම කිරීම නිසා කුපිත වූ අන්නා ඩී. එම්. කේ. පක්‍ෂයේ ආධාරකරුවෝ පෙරේදා (27 වැනිදා) සවස බස්‌ රථ ගිනි තැබූහ. හිටපු තමිල්නාඩු මහ ඇමැති කරුණානිධි හා ඔහුගේ පුත්‍ර ස්‌ටාර්ලින් භාරතීය ජනතා පක්‍ෂ නායකයකු වූ සුබ්‍රමනියම් ස්‌වාමිගේ නිවසට ගල් මුල් ගසමින් කලබලකාරී තත්ත්වයක්‌ ඇතිකර තිබේ.

එකී තත්ත්වය මත තමිල්නාඩුවේ ප්‍රදේශ රැසක වෙළෙඳසල් වසා දමා තිබේ.

චෙන්නායි සහ මදුරේ නගරවලදී කරුණානිධිගේ පිළිරූ රැසක්‌ පුළුස්‌සා දමා තිබේ. තමිල්නාඩුවේ ප්‍රදේශ පහක මෙම කලබලකාරී තත්ත්වය ඇතිවී තිබෙන බව ද වෙළෙඳසල් රැසක්‌ කොල්ලකා ඇතැයිද තමිල්නාඩුවෙන් වාර්තා වේ.

තත්ත්වය පාලනය කිරීමට 2000 ක පොලිස්‌ බළකායක්‌ එකී ප්‍රදේශයට එවා තිබේ.