අනෙක් සියල්ල කිරීමට පෙර අගමැතිවරයා විසින් දැන්  වහාම කළ යුතුව ඇති කාර්‍යභාරයන් කීපයක්

Spread the News

සුදත් ගුණසේකර.

මහනුවර. 21.5.2022.

අනෙක් සියල්ලටම පෙර රනිල් වික්‍රමසින්හ අගමැතිවරයා විසින් දැන්  වහාම කළ යුතුව ඇත්තේ උද්ගතව ඇති අලුත්ම තත්වය යටතේ වියරු වැටුන රටේ ජනතාව පාර්ලිමේතුව, රජගෙදර සහ අරලියගහ මැදුරටද ගිනි තැබීමට පෙර වහාම නව දේශපාලන සන්ස්කෘතියකින් වැඩ ආරම්භ කොට  ඒ සියළු ව්‍යශනයන්ගෙන් රට බේරාගැනීම යයි  මම යෝජනා කරමි

ඔහුගේ අතීත ක්‍රියාකාරකම් අනුව මෙවැනි අතිෂයින්ම අර්බුධ කාරි අවස්ථාවක එම අර්බුධයන්ට මුහුණ පාන ආකාරය ගැන එතරම් දැඩි බලාපොරොත්තුවක් තැබිය නොහැකි වුවද මේ අවස්ථාවේ මෙම අර්බුධයන් භාරගැනීමට මීට වඩා සුදුස්සෙක් වර්ථමාන පාර්ලිමේන්තුවේ නැති නිසා අපි වර්තමාන අභියෝගට ඔහු ගැළවුම්කාරයා වශයෙන් පිළිගනිමු.ඇතැම්විට කවුරුත් බලපොරොත්තු නොවන අයුරකින් ඔහු ඊට මුහුණ දීමටද පුලුවන. 

එබැවින් ඔහුට සුභ පතහ්මින්‍ වැටී ඇති නරාවලෙන් ගොඩ ඒමට නම් ඔහු ඊට මුහුණ දිය යුතු ආකාරය ගැන අදහස් කීපයක් ඉදිරිපත් කිරීම මෙම ලිපියේ මූලික අරමුණය.

මේ රටේ විෂේශයෙන්ම පසුගිය දසක 3 ½ තුල  රට  ඇද දමා ඇති අඝාධයෙන් එය  ගොඩ ගැනීම සඳහා ඔහු විසින් වහාම ගතයුතු පියවර කීපයක් පහතින් දක්වමි.

1ඔහු විසින් පළමුවෙන්ම කළයුත්තේ වර්තමානයේ රට තුළ පවතින දේශපාලන, ආර්ථික හා සමාජ ගැටළු මොනවාද කියා විචාරසීලිව හරිහැටි තෙරුම් ගැනීමය

2අනතුරුව ඉන් ගොඩ ඒමට ගතයුතු ක්‍රියාමාර්ගයන් මොනවාදැයි පැහැදිළි කර ගත යුතුය.

3 ඊ ළඟට එම වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ඊට සුදුසු දේශපාලන සහ පරිපාලන යාන්ත්‍රණක් සකස්කර ගත යුතුය.

4 සිව් වනුව එම යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට වඩාත්ම සුදුසු පුද්ගලයින්  තෝරාගෙන ස්ථාන්ගත කළයුතුය. මන්ද පවතින යාන්ත්‍රණයෙන් පහැදිළි වෙනස්කම් නොකොට අපේෂිත ඉලක්ක කිසිසේත්ම සපුරාගත නොහැකි නිසාය.

5 පස්වනුව ඒ සඳහා අවශ්‍ය මුදල් සොයාගත යුතුය.

6 වනුව මනා සැලසුමක් ඇතිව තම වැඩ සටහන ක්‍රියාත්මක් කළයුතුය.

මෙම සටහනෙන් මා බලාපොරුත්තු වණුයේ අර්බුධයට සාර්ථකව මුහුණදීමට නම් වහාම ගතයුතු පියවර කීපයක්

ගැන අදහසක් ඉදිරිපත් කිරීමය.

1 ප්‍රථමයෙන්ම ඒ සඳහා පවතින තත්වයෙන්, පලමුව ආර්ථික වශයෙන් රට ගොඩගත හැකි සුවිසේෂී දැණුමක් හා දක්ෂතා ඇති ජනතා විශ්වාශය දිනාගත හැකි විශිෂ්ඨ ගණයේ පුද්ගලයින් කීප දෙනකුගෙන් සමන්විත කුඩා අමාත්‍ය මණ්ඩලයක් පිහිටුවා ගැනීම.

2 එහිදී කිසිම හේතුවක් නිසා ඇමති මණ්ඩලය 17 කට වඩා  වැඩි නොකළ යුතුය

(මුලින් කී 15 දැන් 20 වි ඇත. තව ටික දිනකින් එය 25  සහ අවසානයේ 30 ම වනු ඇත. ඒ සමඟම ව්‍යවස්ථාවේ නැති  කැබිනට් ඇමතිවරුන් යටතේ නැති ගෝථාභයගේ රාජ්‍ය ඇමතිවරුන් ද -40 ක් පත්කිරීමට සූදානම් බව පැවසේ. ඒ බහුතරය රැකගනීමටය.මේ යන්නේ කොහේටද. හිටපු තැනටම නේද? මුළු රටම තමන්ට ගෙදර යන්ට කියා මොර දෙන මෙවැනි අවස්ථාවක මෙවැනි අති විශාල ඇමති මණ්ඩලයක් රටේ ජනතාව කිසිසේත්ම අනුමත නොකරන බව හෝ  ජනාධිපතිට සහ අගමැතිවරයාට තේරුම් ගන්ට බැරිනම් මෙතනින් ඉදිරියට මොවුන් යන්නේ කෙසේද?

ජනපතිගේ අදහස යලිත් ඇමතිවරුන් 70ක් ම පත් කොට රජය ගෙනයාමටනම් එය සියතින් තම ගෙළ සිඳ ගැනීමකි පළමු ප්‍රස්නය මොවුන්ට පඩිනඩි ගෙවන්නේ කොහෙන්ද. කාර්යාල, යාන වාහන, වෙනත් දීමනා. මේවාට සල්ලිකොහෙන්ද. මින් පැහැදිළි වනුයේ ජනධිපතිවරයාගේ පළමු ප්‍රමුකතා ඇමතීන් 70 පත්කොට ඔවුන්ගේ මන දොල පුරවා සැබෑ මහජන නියෝජනයක් නැති,  පක්ෂනායාකයින්ගේ හුදු කුලී හේවායින් වන, ප්‍රජාතන්ත්‍රවාදයේ, විකුර්ථියක්වන, රට ජාතිය ගැන අබමල් රේණුවක හැඟීමක් නැති, ආත්මාර්තකාමී බඩගෝස්තර වාදී පර්පුට්ටන්ගෙන් පිරුණු පාර්ලිමේන්තුවේ බහුතරය රැක ගැනීම මිස රටේ ජනතාවගේ කුසගින්න නිවාලීම ඇතුළු දහසක් ජනතා ප්‍රශ්න විසඳීම නොවන බව නොවේද?  මේ විගඩම රටේ ජනතාව තව කොපමණකලක් ඉවසයිද?මෙයින් සිදුවන්නේ තවත් රට ගිනිගන්නා එක පමණක් නේද?)

එමනිසා 17 නොඉක්මවනු කියා අගමැති වරයා ජනධිපතිට තරයේ කිව යුතුය. මා අගමැතිනම් ජනාධිපතිවරයා ඊට එකඟ නොවේනම් වහාම ඉල්ලා අස්වෙමි.

2 එසේම එකම රාජ්‍ය ඇමති හෝ නියෝජ්‍ය ඇමති වරයකු මේ අවස්ථාවේදී පත් නොකරණ මෙන්ද ජනපතිට කියණු මැනවි.. එවිට ජනතාව ඔබ සමඟය.එසේ නොවුනහොත් ඔවුන් තවදුරටත් අරගල කරුවන් සමඟය.එසේ වූ විට රටපුරා අරගල උග්‍ර වනු ඒකාන්තය.

 එසේ වූ විට ගෝථාභයටත් පෙර,  6 වන වතාවටත් තවත් ලෝක වාර්තාවක් තබා  ඔබටද යළිත් ගෙදර යාමට සිදුවනු ඇත. ඉන් ගැළවීමට ඇති පළමු ක්‍රමය ඇමතිමණ්ඩලය 17 කට හෝ 18 කට සීමා කිරීමය.

3 ඇමතිවරුන් පත්කිරීමේදී දැන්වත් හොරුන්, තක්කඩීන් බේබද්දන්, පගාමරුවන්, කොමිස් රජවරුන්, බේබද්දන්   සහ පාර්ලිමේන්තුවට එන්නේ නැති, පාර්ලිමේන්තු වේ නිදාගන්නා උන් නැතිව, රට ගැන හා ජනතාව ගැන සිතන රට  වැටී ඇති අඝාධයෙන් ගොඩගත හැකි අය පමණක් ඇමතිවරුන් වශයෙන් පත්කරගන්න.

4 ඔබ  නිමල් සිරිපාල, කෙහෙලිය වැනි මිනිසුන් ඇමතිවරුන් වශයෙන් පත් කිරීමට විරුද්ධවීය යුතු නැද්ද. ඒ වෙනුවට මේ වෙලාවේදි ඇමතිවරුන් වශයෙන් පත්කර ගත යුත්තේ රට ගොඩගත හැකි විද්වතුන් කීප දෙනෙක් නොවේද?

(16.5.2022 දින ලන්කාවෙබ් පුවත් අඩවියේ  පලකෙරුණු මගේ ලිපියෙන් යෝජනා කල පරිදි ජාතික ලැයිස්තුවෙන් විද්වතුන් කීප දෙනකු හෝ ඇමතිවරුන් වශයෙන් පත්කර ගෙන රට ගොඩගෙන ජනතා  අසහනයන්ට පිළියම්  යොදනමෙන් මම ඔබගෙන් ඉල්ලමි.මා  ජනාධිපති වරයාගෙන් මෙම ඉල්ලීම නොකරන්නේ, ඔහු වලපල්ලට ගෙනයන ඔහුගේ කුලී උපදේශකයින්ගේ උපදෙස් මිස මිස අප වැන්නන් කියන කිසිවක් ඔහුගේ කට නොවැටෙන නිසාය.)

5 ඇමති තණතුරු නැතිව පාර්ලිමේන්තුවේ ඉන්ට බැරි මන්ත්‍රී වරුන්ට ගෙදර යන මෙන් කියණු මැනවි

තවද,

6 අපරාධයන් කළ බවට බන්ධනාගාර ගතව සිටින මන්ත්‍රීවරුන්  පාර්ලිමේන්තුවට ගෙන  ඒමද වහාම නතරකළයුතුය.

7 පලාත් සභා වහාම අහෝසි කිරීම සහ ඒවා අකර්මන්‍යවී අවුරුදු පහක් පමණ ගතව තිබියදීත් රටේ පරිපාලනය ගැන මෙලෝ දෙයක් නොදන්නා, ජනාධිපතිවරයාගේ හෙන්චයියන් පිරිසක් සහ දේශපාලන අනාථයින් පින්පඩි ගෙවමින් ආණ්ඩුකාරයින් වශයෙන් තබාගෙන සිටීම මහා ජාතික අපරාධයක්  නිසා වහාම ඔවුන්ද එම පදවි වලින් ඉවත් කරන මෙන් ජනාධිපති වරයාට දැන්විම. ඒ සමඟම ඒවා කල්දැමූ දින සිට ආණ්ඩුකාරයින්ට ගෙවූ වැටුප් සහ දීමනා ආපසු අයකර ගැනීමට පියවර ගැනීම

(2020 වසරේ පලාත් සභාවල වියදම රුපියල් බිලියන 316 ක් (ඒ කියන්නේ රුපියල් කෝටි 31,600 යකි)  බව රජයම වාර්තාකොට ඇත. මේ අනුව පසුගිය අවුරුදු 35 ක කාලයක් තුල, පලාත් සභා මකරකට නඩත්තුකිරීමට රටේ මහජන මුදල් කොපමණ නාස්ති කොට ඇද්දැයි ඔබට සිතාගත හැක. කෝටි 31,600 ය 35 න් වැඩි කිරීමෙන් උත්තරය ඔබට ලබාගත හැක. (කෝටි 11,06,000). අද රට වැටී ඇති ආර්ථික අඝාධයට එක් ප්‍රධාන හේතුවක් වූයේ මේ පලාත්සභා සුදු අලියා බව දැන් ඔබට  තේරෙනවා ඇතැයි මම සිතමි.මෙන්න මේ නිසා තමයි 1987 සිටම අපි පලාත් සභා වසා දැමිය යුතුයයි කිවේ.

මෙය වහාම නොකලොත් වැඩි දිනක් යාමට පෙර,ගෝටා ගෝ ගමේ සහ නෝ ඩීල් ගමේ අරගල කරුවන්, ආණ්ඩුකාරවරුන්ද ඔවුන්ගේ කාර්යාල වලින් ඇද දමා පලාත් සභාවලටද ගිනි තියන දවස එතරම් ඈතක නොවන බවනම් කිව යුතුය. එසේම රආර්ථික වශයෙන් තවත් සිය දහස් ගුණයකින් ප්‍රපාතයටම යාවි.

8 රට ගොඩ ගැනීමට නම් මේ රටට පුරුදු දිස්ත්‍රික් පාලනය නැවත් පනගැන්විය යුතුය. ඒ සඳහා පලාත් ස්භා අහෝසිකොට දිසා පාලනය පූර්ණ ප්‍රතිසන්ස්කරණයක් කොට දිසාවන්හි  පූර්ණ වගකීම වුර්තීය දිසාපතිවරුන්,  ප්‍රාදේශිය උප දිසාපති සහ ග්‍රාම සේවා නිලධාරීන්ට භාර  දිය යුතුය.

9 තවද ඉන්ධන, ගෘහස්ථ ගෑස්, විදුලිය අඛණ්ඩව සැපයීම වහාම ක්‍රමවත්ව කළයුතුය.

10 රෝහල්වලට සහ ඖෂධ ශාලා වලට  ඖෂධ ලබා දීම මෙන්ම

11. ජනතාවගේ  එදිනෙදා අත්‍යාවශ්‍ය අහාර ද්‍රව්‍ය සැපයීම සහ ඒවායේ මිල පාලනය කිරිම ආදී හදිසි සැපයීම් කෙරෙහිද ඔබගේ දැඩි අවධානය යොමුකළමුකළ යුතුව ඇත.

12ඒ සමගම රටේ පවතින අරාජිකත්වය පාලනය කිරීම සඳහා වහාම අවශ්‍ය පියවර ගත යුතුය

ඒ සඳහා අන්තරේ,ජේ, වි,පිය සහ  පෙරටුගාමී පක්ශ තනම් කිරීම, අන්තරේ මෙහෙයවන එහි සභාපති චතුර සේනාරත්න, හිටපු සභාපති ලාල් කාන්ත  සහ කුමාර් ගුනරත්නම් මෙන්ම ජේ.වී.පි යේ මැයි 9 වන දින දීපව්‍යාප්ත තම දිසා නායකයින් ලවා ගිනි තැබීම් කරවූ,(සමුදිතට කී පරිදී ලාල් කාන්ත. දේශපාලන වුර්තීය සන්ගම් මෙහෙයවන ජොසොප් ස්ටාලින්. මහින්ද ජයසින්හ සහ  ගොවි පෙරමුනේ කැඳවුම්කරු ආදි සියළුම ජේ.වී.පී.නායකයින් අත් අඩන්ගුවට ගෙන ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කල යුතුය. ඔවුන් සියළු දෙනාම අද මේ කරන්නේද 1971 සහ 1989 රට පුරා සිදුකළ විනාශයේ තුන්වන අදියර යයි මම සිතමි.

ජාතියක් නැති, ආගමක් නැති, මේරටේ පය තබාගෙන නැති,මනසින් රුසියාවේ ජීවත්වන  මේ රට  එහි ඉතිහාශය හෝ සන්ස්කෘතිය  හා සමාජ හරයන් ගැන නොදන්නා මොවුන්ගෙන් විනාශකාරී අරගලය හැර අන් කුමක් බලාපොරුත්තු වන්නද.

13.මෙහිදි කිවයුතු තවත් වැදගත් කරුණක් ඇත. එනම් දිවයිනේ කිසිම ඉන්ධන හලකින් හෝ වෙනත් තැනකින්  බුලිවලට ඉන්ධන නිකුත් නොකලයුතු බවට නීතියක් පැණවීමයි. මන්ද මොවුන් පසුගිය මැයි 9 දා මෙන් යලිත් මෙසේ ලබාගන්නා ඉන්ධන වලින් මුළු රටම ගිනි තියනු ඇති නිසාය.

අගමැති තුමනි,

මේ අවස්ථාවේදි ගොඨාභයට ඔබ ඔහුගේ ගැලවුම් කාරයාය. ඔබ නැතිව ඔහුට පැවැත්මක්ද නැත, එමනිසා අනිවාර්යෙන්ම ඔහුට, ඔබට සවන් දීමට සිදුවනු ඇත, එමනිසා එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන ඔබගේ මුලු දේශපාලන ජීවිතයේම රට වෙනුවෙන්  කිරීමට නොහැකිවු විශාල වැඩ කොටසක් කිරීමට ඔබට මේ ස්වර්ණමය අවස්ථාවකැයි මම සිතමි. දැන් 21 වන ව්‍යවස්තාව සම්මත වූ පසු ජනාධිපතිවරයා නාමික රාජ්‍යනායකයා වීමත් සමඟම මේ සියල්ල පහසුවෙන් කිරීමට ඔබට බලතල ලැබෙන නිසා ඒ සඳහා අවශ්‍ය පසුබිම සකස්කර ගැනීම ඔබේ වගකීමය.

කුමන රජයක වුවද සාර්ථකත්වයේ ප්‍රධාන විධායක යාන්ත්‍රණය වන්නේ අමාත්ත්‍ය මන්ඩලයයි.අමාත්‍ය මන්ඩලයේ වගකීම්  ජයගැනීමට නම් ඊට සුදුසු දක්ෂ පක්ෂකම් ඇති විද්වත් අමාත්‍ය වරුන් සිටිය යුතුය. එමනිසා ඔබ ඉදිරියේ ඇති යෝධ අභියෝගය ජය ගැනීමටනම්  ඊට ගැළපෙන දෂ පක්ෂකම් ඇති විද්වත් අමාත්‍ය මණ්යලයක් පත්කොට ගැනීම ඔබගේ පූර්ණ වගකීමයි.එය ඔබට කිරීමට නොහැකිනම් ගෝඨාභය වැටුණු වලේ ඔබත් නොවැටී සිටීම නුවනට හුරුයයි මම සිතමි

එකී අරමුණ නිසි පරිදි ඉටුකරගැනීමට නම් මවිසින් මීට පෙරද ප්‍රකාශකොට ඇති පරිදි ජාතික ළැයිස්තුවෙන් හෝ එවැනි පුද්ගලයන් කීපදෙනකු හෝ අමාත්‍යවරුන් වශයෙන් පත්කර ගැනීමේ වගකීම සම්පූර්ණයෙන්ම ඔබ සතුය.

තවද කිවයුතු එක් කරුණක් ඇත එනම් පසුගිය අමාත්‍යමණ්ඩලයේ මෙන් විකාර ඇමතිවරුන් නැතිව (උදා              : මැටි ඇමති, එලවලු ඇමති කිතුල් ඇමති ආදී වශයෙන්) අර්ථවත් ලෙස අමාත්‍යාන්ශ නම් කිරීමේ ඇති වැදගත් කමද සඳහන් කරමි

මෙම කරුණු දෙකම අරභයා  පසුගිය දිනක මා ලියූ ලිපියකින් අදාල කොටසක් මෙහි ඇතුලත් කරමි.

යෝජිත අමාත්ය මණ්ඩලය

ජනාධිපති; අමාත්ය මණ්ඩලයේ ප්‍රධානියා, ආණ්ඩුවේ ප්‍රධානියා සහ සන්නද්ධ සේවාවන්හි ප්‍රධානියා

1අග්‍රාමාත්ය, රාජ්‍ය ආරක්ශක,  බුද්ධසාශන හා සන්ස්කෘතික කටයුතු

2 මුදල් හා ක්‍රම සම්පාදන හා රජයේ වැඩ

3 ඉඩම්,  වාරිමාර්ග සහ පරිසර සන්රක්ශන

4 කෘෂිකර්මාන්ත, වැවිලිකර්මාන්ත සහ කුළුබඩු

5 කර්මාන්ත, බලශක්ති හා තාක්ශන 

6 අධ්‍යාපන සහ ක්‍රීඩා

7 අධිකරණ, නිතිය හා සාමය

8 සෞඛ්‍ය, ආයුර්වේද සහ සමාජසේවා

9 නිවාස, පලාත්පාලන හා ජලසම්පාදන

10 වෙළඳ හා නාවික කටයුතු

11 විදේශ සහ ජාත්‍යන්තර කටයුතු (මෙම ඇමති ධුරයට නිතරම පත්කළ යුත්තේ ශ්‍රි.ලන්.වි.සේ  විශිෂ්ඨතම නිලධාරියෙකි- ජාතික ළැයිස්තුවෙන්)

 12 ධීවර සහ සමුද්‍ර සම්පත් –

13 කම්කරු හා රැකිරක්ශා –

 14 ගමනාගමන, මහාමාර්ග හා ගුවන්සේවා 

 15 ප්‍රවෘර්ති, ගුවන්විදුලි, රූපවාහිනී සහ ජන මාධ්‍ය

16`උඩරට ගැමි පුනරුත්ථාපන සහ කන්ද උඩරට (ජාතියේ හදබිම ) සන් රක්ශනය 

17 ස්වදේශ කටයුතු රාජ්ය පරිපාලන හා ග්‍රාම සන්වර්ධන (මෙම ඇමති ධුරයට නිතරම පත්කල යුත්තේ ශ්‍රි.ලන්.ප.සේ විශිෂ්ඨතම නිලධාරියෙකි- ජාතික ළැයිස්තුවෙන්)

(ස්වදේශ කටයුතු, රාජ්‍ය පරිපාලන හා ග්‍රාම සන්වර්ධන අමාත්යාන්ශය මට භාර දෙන්නේනම් 1948 සිට නොකෙරුණු මේ රටට ගැලපෙන දිස්ත්‍රික්ක, ප්‍රාදේෂීය සහ ග්‍රාම පාලන ක්‍රමයක්  6 මසක් අතුලත මට මේරටට නිර්මාණය කොට දිය හැකි බව්ද ප්‍රකාශකරමි).

දැනට තිබෙන අමාත්‍යාශ, දෙපාර්තමේන්තු සහ අනෙකුත් රාජ්ය ආයතන සියල්ල (අනවශ්ය ඒවා වසාදැමීමෙන් පසු ඉතිරිවන) මෙම අමාත්‍යාශ යටතට විධිමත්ව අන්තග්‍රහණය  කළ යුතුය

ජාතික ලැයිස්තුවෙන් ඇමතිමන්ඩලයට  ගත යුතු කීපදනෙක්

සරත් නන්ද ද සිල්වා  හිටපු  අග්‍රවිනිශ්චයකාර ආචාර්ය

ආචාර්ය ගාර්වින් කරුනාරත්න

ගාමිනි විජේසින්හ හිටපු විඝණනාධිපති

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු

ප්‍රභාත් මහනාම

වන්නියෑලෑ ඇත්තො

ආචාර්ය චන්ද්‍රේ ධර්මවර්ධන.

මෙම ළැයිස්තුවට ලක්ෂ්මන් කදිරගාම වැනි දෙමල නියෝජිතයෙක්ද ඇතුලත් කරගත යුතුය

                (මොවුන් ඇමති තණතුරු භාරගැනීමට අසතුටුනම් යටත් පිරිසෙයින් ජාතික සැලසුම් මන්ඩලයේ උපදේශක වරුන් වශයෙන් හෝ පත්කොට ගතයුතුයයි මම යෝජනා කරමි)

අගමැති තුමනි, දේශප්‍රේමියකු වශයෙන් මම ඔබට මෙන්ම රටට හා ජාතියට ශුභපතමි!